මෙරට නිෂ්පාදිතTEJC අඹ ප්‍රභේදය මින් ඉදිරියට අපනයනය ඉලක්ක කර ගත් වගාවක් වශයෙන් පමණක් ව්‍යාප්ත කිරීමේ සැලසුම් සකස් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
මේ වන විට අප රටේ පමණක් නොව විදේශ වෙළෙඳපොළේ පවා ජනප්‍රිය අඹ ප්‍රභේදයක් වන අප රටේ නිෂ්පාදිත TEJC අඹ ප්‍රභේදය අසීමාන්තික ලෙස වගා කිරීමට පියවර ගැනීම නිසා එහි ගුණාත්මකභාවය කෙරෙහි බලපෑම් එල්ල වෙමින් පවතින බැවින් මේ පියවර ගැනීමට තීරණය කර තිබේ.
TEJC අඹ ප්‍රභේදය සාමාන්‍ය වගාවක් වශයෙන් පවත්වාගෙන යෑමත්, එම අඹ පැළ විශාල වශයෙන් ගෘහස්ථ පරිභෝජනය සඳහා වගා කිරීමට පියවර ගැනීමත් නිසා එම අඹ වගා කළ යුතු නිවැරදි ආකාරය ගොවීන් වෙතින් ගිලිහී යමින් තිබේ. දැනට වෙළෙඳපොළේ අලෙවි කරන මේ අඹ නිසි ප්‍රමිතියට වගා කළ ඒවා නොවන බව පෙනී යයි. අඹ ගෙඩිය මතුපිට දීප්තිමත් කහ වර්ණයක් දක්නට නොමැති අතර, අඹ ගෙඩිය මතුපිට පුස් බැඳී ඇති බවක් දිස්වේ. පරිභෝජනයට මේ තත්ත්වය ගැටලුවක් නොවුණත්, අපනයනයේදී නිසි ප්රමිතීන් අනුගමනය කළ යුතුව ඇත.
මේ නිසා මේ අඹ ප්‍රභේදය සුලබ වීම මත ඉදිරි කාලයේ අලෙවි කරගත නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බවත්, එසේ වුවහොත් දැනට මේ අඹ අපනයනයෙන් රටට ලැබෙන ඉහළ ආදායම අහිමි විය හැකි බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.
එමෙන්ම දැනට අප රටේ TEJC අඹ ප්‍රභේදය වගා කර ඇති ඉඩම් ප්‍රමාණය කොපමණ දැයි වාර්තාවක් සකසන ලෙසත්, අවශ්‍යතාව අනුව එම ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ නම් මින් ඉදිරියට TEJC අඹ ප්‍රභේදය වගා කිරීමේදී වෙළෙඳපොළ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ව්‍යාප්ති කටයුතු සිදු කරන ලෙසත් ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.