තල් කර්මාන්තයේ තල් ගස් නැඟීම, මැදීම ඇතුළු කටයුතු පුහුණුව පිළිබඳව පළමු වරට කාන්තාවන් සඳහා ජාතික වෘත්තීය නිපුණතා සහතික ලබාදීමට තල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා ඇත.
මන්නාරම ප්‍රදේශයේ කාන්තාවන් 30 දෙනකු මෙම කණ්ඩායමේ පුහුණුව ලබන අතර ඉදිරි දිනයකදී ඔවුන් වෙත NVQ 3 මට්ටමේ සහතික පිරිනැමෙන බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ මහතා කියයි.
තල් ගස් නැඟීම, ගෙඩි කැඩීම, ගස් මැදීම ආදී කටයුතු සඳහා ජාතික ආධුනිකත්ව මණ්ඩලය විසින් වෘත්තීය පුහුණුවක් ලබන මෙම කාන්තාවන් 30 දෙනා වයස අවුරුදු 20 – 40ත් අතර වයස් කාණ්ඩවල පසුවන අතර ඔවුන්ගෙන් බහුතරය සිය පරම්පරාවෙන් තල් කර්මාන්තයට දායක වූවන්වේ. එම ක්ෂේත්රයට අලුතෙන්ම එක්වූවන් ද මේ අතර වන බව සභාපතිවරයා අවධාරණය කරයි.
තල්ගස් නැඟීමේ ආරක්ෂිත ක්‍රමවේද එම අවස්ථාවේදී මුහුණ දෙන හදිසි රෝග තත්ත්වයන් අස්වනු හානි අවමව නෙළා ගැනීම ඇතුළු ක්‍රමවේද රැසක් පිළිබඳව ද මෙම පුහුණුවේදී ඔවුන්ව දැනුම්වත් කිරීම් සිදු කරයි. ශ්‍රී ලංකාවේ තල් රා කර්මාන්තයේ යෙදෙන උතුරු හා නැඟෙනහිර පළාත්වල පුද්ගලයන් 1500කට පළමු වරට ජාතික වෘත්තිය නිපුණතා සහතික (NVQ 3) පත්‍ර පිරිනැමීම පසුගිය පෙබරවාරි මාසයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අප රටේ තල් රා සහ තල් අරක්කු සඳහා ජාත්‍යන්තර වෙළෙඳපළෙහි ඉහළ ඉල්ලුමක් තිබේ. මේ වනවිට ප්‍රංශය, කැනඩාව හා ඩුබායි ආදී රටවල්වලට තල් රා සහ තල් අරක්කු අපනයනය කරන අතර වාර්ෂිකව ඩොලර් 45,000ක මුදලක් උපයනු ලබයි. ලෝකයේ වැඩිම තල්ගස් ප්‍රමාණයක් සහිත දෙවැනි රට වන්නේ ශ්‍රී ලංකාව වන අතර ලොව එකම තල් පර්යේෂණ ආයතනය තිබෙන්නේ ද ශ්‍රී ලංකාවේය.