වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 තෙක් වැඩි කිරීමට තීරණය කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) නිකුත් කළේය. එම තීරණය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය ගත් තීරණයට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් කිහිපයක් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සම්බන්ධයෙන් වන කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම නියෝගය නිකුත් කරන ලදි. පෙත්සම් විභාගය අගෝස්තු මස 28 වැනිදා සිදු කිරීමට නියම කෙරිණි. එම පෙත්සම් විභාගය අවසන් වනතෙක් මෙම අතුරු තහනම් නියෝගය බලපැවැත්වේ.
ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලදි. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ තීරණය ඇතුළත් ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් වතු සමාගම් විසි එකක් මඟින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. එම වැටුප් වැඩි කිරීමේ තීරණය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස එමඟින් ඉල්ලා තිබිණි. එම පෙත්සම සම්බන්ධයෙන් වන මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් නොකිරීමට පෙරේදා (03) තීරණය කළේය. එම අභියාචනාධිකරණ නියෝගය නීති විරෝධී සහ අසාධාරණ බව පවසමින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබිණි. අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය ගත් තීන්දුව බල රහිත කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.