වැල්ලවායේ රැස්වීමට ජනතාව ගෙන්වූයේ බඩු භාණ්ඩ බෙදා නම්, එය ඔප්පු කර පෙන්වන්නැයි තමන් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට අභියෝග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපලේකම්, රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පැවැසීය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පෙරේදා (03) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“බඩු භාණ්ඩ බෙදුවේ නම් රැස්වීමට පැමිණි ජනතාව බඩු මලු ඔසවාගෙන යා යුතුයි. මම රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ ඔහුගේ බාප්පා දිස්ත්‍රික්කයට කර ඇති සේවාව ගැන විවාදයකට සූදානම්. මොනරාගල දිස්ත්‍රික්කයේ මම අවුරුදු 30ක් පුරා දේශපාලනය කරනවා. වැල්ලවායේ රැස්වීමට 35,000කට වැඩි ජනතාවක් සහභාගි වුණා. ඒක දරාගන්න බැරිව සමහර පිරිස් නොයෙක් අවලාද නඟනවා. පක්ෂයේ හිටපු සභාපතිවරයාත් යම් යම් දේ කියලා තිබෙනවා මම දැක්කා. ඒ මහතා පොලොන්නරුවට ගෙන්වන ජනතාවට වඩා වැඩි ජනතාවක් අපි බුත්තලට ගෙනත් පෙන්නුවා. ඒ මහතාත් එය පිළිගන්නවා. ඒ වගේම රංජිත් මද්දුම බණ්ඩාර මහත්තයා කියලා තිබුණා, සෙනඟ ගෙනාවේ මම මොන මොනවාද බෙදලා කියලා. ඒ මහතා පාර්ලිමේන්තු ගියේ 1989. ඒ මහතාගේ බාප්පා වන ධර්මදාස බණ්ඩා මහත්තයා 1977 ඉඳලා පාර්ලිමේන්තු හිටියා. හැබැයි මොනරාගල දිස්ත්‍රික්කයට දැනෙන වැඩක් කරල නෑ. මම 1994 ඇවිත් වේලිඔය සංවර්ධන ව්‍යාපාරය හදලා අක්කර 4000ක් අස්වැද්දුවා. හඳපානගල ව්‍යාපාරය හදලා කන්න පහක් වැඩ කරන්න හදලා දුන්නා.”