අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ලක්ෂපාන ප්‍රාදේශීය රෝහලේ පවතින වෛද්‍ය හා හෙද නිලධාරි හිඟය නිසා එම රෝහල පවත්වාගෙන යාමේ අසීරු තත්ත්වයක් උද්ගත වී තිබෙන බව එම ප්‍රදේශවාසීහු සඳහන් කරති.
ලක්ෂපාන, කුඹුරහේන, කටකිතුල, වග්ගම, කොල්හේන, මොරහේනගම, පල්ලේවත්ත, ඇඩිට් ත්‍රී, කෙහෙල්වරාව, පොල්පිටිය, හිටිගේගම, හගරාපිටිය, ජම්බුතැන්න, ගැඩුමවත්ත, කොත්තැල්ලෙන හා කිරිවන්එළිය යනාදී විශාල ගම් පෙදෙසක ජනතාවට සෞඛ්‍ය සේවා පහසුකම් සලසන ලක්ෂපාන ප්‍රාදේශීය රෝහල සඳහා වෛද්‍යවරුන් තිදෙනෙක් සිටිය යුතු නමුත් දැනට එහි සිටින්නේ එකම එක වෛද්‍යවරයෙක් පමණි. එසේම එම රෝහල සඳහා හෙද නිලධාරින් හත්දෙනෙක් අවශ්‍ය නමුත් දැනට සිටින්නේ හෙදියන් දෙදෙනෙක් පමණි.
දිනකට එම රෝහලෙන් බාහිර ප්‍රතිකාර ලබාගැනීම සඳහා එම ප්‍රදේශවාසී රෝගීන් 400ක් පමණ පැමිණෙන අතර, එම රෝහලේ සිටින එකම වෛද්‍යවරයාට එම බාහිර රෝගීන් මෙන්ම නේවාසික රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීම ඉතාම අපහසු කටයුත්තක් වී ඇත.
එම රෝහලේ පැවැත්වෙන වෛද්‍ය සායන සඳහාද බොහෝ රෝගීන් පිරිසක් සහභාගි වන නමුත් එම වෛද්‍ය හා හෙද හිඟය නිසා සායන කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව එම ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මේ අතර කලින් එම රෝහලේ දන්ත වෛද්‍යවරයකු සේවයේ යෙදී සිටි නමුත් කලකට ඉහතදී එම දන්ත වෛද්‍යවරයා වෙනත් ප්‍රදේශයක රෝහලකට සේවා ස්ථාන මාරුවීමක් ලබා ගොස් ඇති නමුත් ඒ වෙනුවට අනුප්‍රාප්තිකයෙකු පත් කර නැත. මේ නිසා එම ප්‍රදේශවාසී දන්ත රෝගීන් හට දන්ත රෝග ප්‍රතිකාර සඳහා බොහෝ දුරක් ගෙවා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල කරා යාමට සිදු වී තිබේ.
ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අසේල පෙරේරා මහතා සඳහන් කළේ ලක්ෂපාන ප්‍රාදේශීය රෝහලේ පවතින වෛද්‍ය හා හෙද නිලධාරි අඩුපාඩුව සපුරා දීමට අවශ්‍ය පියවර ගන්නා බවය.
ලක්ෂපාන රෝහලේ පවතින වෛද්‍ය හා හෙද නිලධාරි අඩුපාඩුව සපුරා දීමට කඩිනමින් පියවර ගන්නා මෙන් එම ප්‍රදේශවාසීහු අදාළ බලධාරින්ගෙන් ඉල්ලීමක් කරති.