සංගීත සංදර්ශනයක් නරඹා නිවෙස් කරා යමින් සිටි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසුව පුද්ගලයෙකුට අතින් පයින් හා බෝතලයකින් පහරදී තුවාල සිදුකර රුපියල් 1120,000ක් වටිනා ගෙල බැඳි රන් මාලය කොල්ලකා පලාගිය සැකකරුවන්ගෙන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බවට ඌරුබොක්ක පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරුබොක්ක, බෙරලපනාතර ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් හය දෙනෙකු බවට පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර රන් මාලය කොල්ලකෑමට සම්බන්ධ ප්‍රධාන සැකකරුද සමඟ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුද සිටින බවට පොලිසිය පවසයි. ඉකුත් 28 වැනිදා රාත්‍රි ඌරුබොක්ක මහජන ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනය නරඹා නිවෙස් කරා යන අතරතුර ඌරුබොක්ක පාලම අසලදී දෙපිරිස අතර මෙම ගැටුම සිදුව ඇති බවට පොලිසිය පවසයි. කාලයක් විදේශගතව සිට මෙරටට පැමිණ ඇති පට්ටිගල ප්‍රදේශයේ සහෝදරයන් දෙදෙනා සමඟ මිතුරන් පිරිසක් සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණ ඇති අතර මල්ලිගේ ගෙල බැඳි රන් මාලය අයියාට දී ඇති අතර ඔවුන් සංගීත සංදර්ශනය නරඹා නැවත නිවෙස් කරා යාමට පැමිණෙන අතරතුර ඌරුබොක්ක පාලම අසලදී තවත් පිරිසක් පැමිණ ඹවුන්ට අතින් පයින් පහරදී ඇති බවට පොලිසිය පවසයි. දෙපිරිස අතර ගැටුම අතරතුර පට්ටිගල ප්‍රදේශයේ අයෙකුට බෝතලයකින් පහරදී ඔහු ගෙල පැලඳ සිටි පවුම් 07ක් බරැති රුපියල් එකොළොස්ලක්ෂ විසිදහසක් (1120,000) වටිනා රන්මාලය කඩාගෙන අයෙකු පලාගොස් ඇති බවට පොලිසිය පැවසීය.
ඉකුත් 29 වැනිදා අලුයම 119 දුරකතන අංකයට ලද තොරතුරකට අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති සැරයන් 19604 සනත් මහතා සමඟ නිලධාරින් පිරිසක් අදාළ තොරතුරු අනුව පරීක්ෂණ ආරම්භ කළ බවත් ඒ අනුව පහරකෑමට ලක්වූ පිරිසක් තුවාල ලබා ඌරුබොක්ක හීගොඩ ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් තුවාලකරුවන්ගේ ප්‍රකාශ මත පහරදී තුවාල සිදුකර ගෙල බැඳි රන් මාලය කොල්ලකා පලා ගිය සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කළ බවත් පොලිසිය පැවසීය. ඒ අනුව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී කඩාගත් රන් මාලය කොබෝමෑල්ල ප්‍රදේශයේ සිටින මිතුරෙකුට ලබා දුන් බවත්, එය උකස් කර මුදල් රැගෙන ඒමට දුන් බවට පාපෝච්චාරණය කළ බව පොලිසිය පැවසීය. ඒ අනුව රන් මාලය ලබාදුන් බව කියන කොබෝමෑල්ල ප්‍රදේශයේ මිතුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත ඇඹිලිපිටිය නගරයේ පුද්ගලික උකස් මධ්‍යස්ථානයට රුපියල් ලක්ෂපහක (500,000) මුදලකට උකස් කර තිබියදී සොයාගත් බවට පොලිසිය පවසයි.
රන් මාලය රුපියල් ලක්ෂ පහකට උකස් කර ගත් මුදල්වලින් රුපියල් දෙලක්ෂ අසූපන්දහසක (285,000) මුදලක් සැකකරු සන්තකයේ තිබී සොයාගත් බවත් ඉතිරි මුදල් මිතුරන් එක්ව මත්පැන් පානය කර පාටි දැමීමට, ණය පියවීමට, හෝටල් ගාස්තු ගෙවීමට සහ ගමන් බිමන් ගිය ත්‍රිරෝද රථවල කුලී ගෙවා වියදම් වූ බවට සැකකරුවන් පාපෝච්චාරණය කළ බවට පොලිසිය පවසයි. පැරණි ආරවුලක් මත දෙපිරිස අතර ඇති වූ ගැටුමක් බවත් ඒ අතරතුර රන් මාලය කොල්ලකා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු සමඟ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයතු කරන බවත් ඉතිරි සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන බවට ඌරුබොක්ක පොලිසිය පවසයි.