මල්වානේ වල්ගම ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මහලේ නේවාසිකාගාර කාමරයක නවාතැන් ගෙන සිටියදී ඉකුත් 29 වැනිදා අබිරහස් ලෙස ඝාතනය කර තිබූ බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පුද්ගලික ආයතනයක සේවිකාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ රාගම මහා රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රොමේෂ් අලගියවන්න මහතා විසින් මේ මරණය ගෙල සිර කිරීමෙන් සිදු වූ මරණයක් බවට වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය.
බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පුද්ගලික ආයතනයක සේවිකාවක් වන ඇල්පිටිය, නවදගල, ඇලිකැන්හේනවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.පී. ශම්මි මධුෂීකා ප්රියන්කරී නමැති 29 හැවිරිදි කාන්තාවක් මෙසේ ඝාතනය කර තිබිණි.
මෙම පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (03) පෙරවරුවේ රාගම මහ රෝහලේදී පවත්වන ලද අතර එම මෘත දේහය මියගිය කාන්තාවගේ මව වන හේමගේ ප්‍රියදර්ශනී යන අයට භාර දෙනු ලැබුවාය.
මේ සිද්ධිය සම්බන්ධව මියගිය කාන්තාව සමඟ එම නේවාසිකාගාර කාමරයේ සිටි තිස් හැවිරිදි පුද්ගලයෙකු එම ඝාතනය සිදු කර පලා ගිය අවස්ථාවේ කොස්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු ඊයේ ( 04 ) බියගම පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධව බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ මහතාගේ උපදෙස් අනුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.