විස්සයි20 ලෝක ශූර ඉන්දීය ක්‍රීඩකයෝ ලෝක ක්‍රිකට් කිරුළු දිනා පැය 105කට පසු ඊයේ අලුයම නවදිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියහ. කුලියට ගත් විශේෂ ගුවන් යානයකින් බාබඩෝස් සිට පැය 16ක් වූ ඍජු ගුවන් ගමනකින් පැමිණි ලෝක ශූර ඉන්දීය පිලට උණුසුම් ප්‍රීතිමත් පිළිගැනීමක් හිමිවිය. අනතුරුව අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවකට අනුව නවදිල්ලි නුවර ලොක් කල්‍යාන් මාර්ගයේ පිහිටා ඇති පංචවතී නම්වූ අගමැති නිවාස සංකීර්ණය වෙත උදෑසන ආහාර ගැනිමට ක්‍රීඩක පිරිස පැමිණියේය.

දැඩි රැකවල් මැද කෝලි ගුවන්තොටුපොළෙන්
පිටතට පැමිණි අයුරු.
‘අපේ ශූරයන් සමඟ විශිෂ්ට හමුවීමක්!’ යැයි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හමුවීමෙන් පසු අගමැති මෝදි මහතා පැවසූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේය. පසුගිය සෙනසුරාදා බ්‍රිජ්ටවුන්හි පැවති අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 7 කින් පරාජය කළ ජයග්‍රාහී කණ්ඩායම දැක බලා ගැනීමට දහස් ගණන් ආධාරකරුවෝ, තම ප්රියතමයන්ට සුබ පතමින් සහ ජාතික ධජය ඔසවමින්, වැහිබර අයහපත් කාලගුණය හමුවේ වුවද ගුවන්තොටුපොළ ගමන් මාර්ගයේ පෙළ ගැසී සිටියහ.
“පසුගිය වසර 13ක් තිස්සේ අපි මේ මොහොත එනතුරු බලා සිටියා. ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අපේ කණ්ඩායම රටට ආඩම්බරයක් ලබා දුන්නා” පාන්දර 4.30 සිට බලා සිටි බව පැවසූ රසිකයෙක් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට පැවසීය.
ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ හා අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර, විරාත් කෝලි, නායක රෝහිත් ෂර්මා සහ ඉවත්ව යන ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ගේ පෝස්ටර් ඔසවාගෙන රසික රසිකාවියන් ප්‍රීති ඝෝෂා නැඟූ බව වාර්තා විය. අවසන් මහා තරගයේදී ඩේවිඩ් මිලර්ගේ උඩපන්දුව ලබාගත් සූර්යකුමාර් බසයට නඟිද්දී විශාල ඔල්වරසන් හඬක් ගුවනට මුසුවීම ද විශේෂත්වයකි. රිය අනතුරකින් පසු යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණි රිෂාබ් පාන්ට් ද රැස්ව සිටි පිරිසගෙන් උණුසුම් ප්‍රතිචාර හිමිවූ බව සඳහන් වේ.
ඉන්දීය ක්‍රීඩකයින් පස්වරු 2ට නවදිල්ලි සිට මුම්බායි වෙත පියාසර කළ අතර, පස්වරු 5ට විවෘත බස් රථයකින් මුම්බායි වන්කඩේ ක්‍රීඩාපිටිය දක්වා ජයග්‍රාහී පෙළපාළියකට සහභාගි වූවේය. ඉන් අනතුරුව වන්කඩේ ක්‍රීඩාංගණයේ උපහාර උලෙළක් පැවැත්වූ අතර, මුම්බායි ඉන්දියන්ස් පිලේ ෂර්මා හා පාණ්ඩ්‍යාට විශේෂ පිළිගැනීමක් ද සිදුවිය.
මෙයට වසර 17 කට පෙර මුම්බායිහි මෙවැනිම මාර්ග සංදර්ශනයක් පවත්වා ඇති අතර, 2007 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී දෝනිගේ කණ්ඩායම පරම ප්‍රතිවාදීන් වූ පාකිස්තානය පරාජය කොට ඉන්දියාවට පැමිණිදා එය සිදුව තිබේ.