රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන්නැයි උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන් මහතා සියලු විශ්වවිද්‍යාවල අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි.
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා ලබා දීමටත් ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ප්‍රමුඛස්ථානය දී, උදය සෙනවිරත්න කමිටුවට යොමු කර 2025 අය-වැයට ඇතුළත් කිරීමට පොරොන්දු වන බව ද ඒ මහතා පෙන්වා දෙයි. උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඉකුත්දා (05) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
මේ රටේ විශ්වවිද්‍යාල 17ක් සහ ඒකාබද්ධ පශ්චාද් උපාධි ආයතන 19ක අනධ්‍යයන සේවකයන් 14,600 දෙනකු දවස් 65ක් පුරා නිරත වැඩවර්ජනය හේතුවෙන් උසස් අධ්‍යාපන ක්ෂේත්රයම අකර්මණ්‍ය වී තිබෙනවා. මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ තරුණියන් 250,000 ජීවිත ව්‍යාකූල වීමත් ඔවුන්ගේ කාලය උදුරා ගැනීමත් මෙහි ඛේදනීය ප්‍රතිඵලය වී තිබෙනවා.
2019 වසරේ කොවිඩ් වසංගතයත් 2020 වසරේ ආර්ථික අර්බුදයත් 2021 අරගලයත් හමුවේ මානසිකව වඩාත් පීඩාවට පත් මේ දරුවන් ඒ සියලු අභියෝග හමුවේ විශ්වවිද්‍යාලයට තේරී පත්වන සියයට 18 අතරට එක් වුණත් මෙම වැඩවර්ජනය හේතුවෙන් ඔවුන්ව තවදුරටත් ව්‍යාකූල තත්ත්වයට පත්වීම ජාතික ඛේදවාචකයක් බව කිව යුතුයි.
මා අද මෙතැන සිටින්නේ අධ්‍යාපනය නිසා මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නොවෙයි. අධ්‍යාපනයේ වටිනාකම දන්නා මා මෙතැන සිටිද්දීත් රටේ විශ්වවිද්‍යාල වසා දමා තිබීම ගැන ඉතා කනගාටුයි. ඔවුන් ඉල්ලා සිටි වැටුප් වැඩි කිරීමට භාණ්ඩාගාරය එකඟ නොවූයේ ඒ සමඟ තවත් ආයතන ගණනාවක වැටුප් වැඩි කිරීම් ඉල්ලා සිටීම හේතුවෙනුයි. කෙසේ වෙතත් මෙම ඉල්ලීම් පිළිබඳ සලකා බලා 2025 අය-වැයට ඇතුළත් කිරීමට කටයුතු කරන බව භාණ්ඩාගාරය ප්‍රකාශ කළා. ඒ සමඟම මෙම නාටකය පසුපස සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය (FUTA) එළිබැස තිබෙනවා. 2010 වසරේ සිට අඛණ්ඩව තමන්ගේ වැටුප් වැඩි කරගත් ඔවුන්, අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට උත්සාහ කරද්දී විවිධ කොන්දේසි දමමින් ලිපි යොමු කරනවා. විශ්වවිද්‍යාල සතු මුදල් මේ ප්රශ්නය විසඳීමට යොදා නොගන්නා ලෙස ඔවුන්ගේ අවසන් ලිපියෙන් දැනුම් දී තිබෙනවා. මේ අයුරින් ඔවුන් කොන්දේසි දමන්නේ කොහොමද? විශ්වවිද්‍යාල කියන්නේ මහජන බදු මුදලින් නඩත්තු වන ආයතන මිස ඔවුන්ගේ බූදලයක් නෙවෙයි. විශ්වවිද්‍යාල කිසි දිනෙක එහි ආචාර්යවරුන්ගේ මාෆියාවට යට වෙන්න දෙන්න බැහැ. ඔවුන්ගේ වෘත්තීය අරමුණ විය යුත්තේ අධ්‍යාපනය ගොඩනඟා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි. මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියලු විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් මා ඉල්ලා සිටිනවා යැයි පැවසීය.
මහින්ද අලුත්ගෙදර, චමීර ඇල්ලදෙණිය