Home » පොලිස්-නාවික නිල සුනඛයන්ට මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමට විශේෂ පුහුණුවක්

පොලිස්-නාවික නිල සුනඛයන්ට මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමට විශේෂ පුහුණුවක්

by sachintha
July 8, 2024 1:45 am 0 comment

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ (National Dangerous Drugs Control Board – NDDCB) සහ පොලිස් නිල සුනඛ පුහුණු අංශයේ සම්පත් දායකත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුනඛ සංචිතය සහ විශේෂ යාත්‍රා බළගණයේ සුනඛ සංචිතය සඳහා මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමේ විශේෂ පුහුණු සැසියක් ජූලි මස 01 වැනි දින සිට 05 වැනි දින දක්වා කොළඹ වරායේ බටහිර නාවික විධාන මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන්ගේ සහ පොලිස් නිල සුනඛ පුහුණු අංශයේ උපදේශකවරුන්ගේ ශිල්පීය දැනුම සහ පුහුණු ක්‍රමවේද උපයෝගි කර ගනිමින් සිදුකෙරුණු මෙම පුහුණු සැසියේදී, නාවික හමුදා සුනඛ සංචිතයේ සහ විශේෂ යාත්‍රා බළගණ සුනඛ සංචිතයේ සුනඛයන් හට ස්වභාවික මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමට සලස්වා, එම මත්ද්‍රව්‍ය නෞකා යාත්‍රා සහ ගොඩනැඟිලි තුළ සූක්‍ෂම ලෙස සඟවා තිබියදී සොයා ගන්නා ආකාරය පිළිබඳ විද්‍යානුකූල පුහුණුවක් ලබාදීම සිදුකෙරිණි.

එමෙන්ම, මත්ද්‍රව්‍ය නිවැරදිව හඳුනා ගැනීම සඳහා සුනඛ හසුරුවන්නන් විසින් සුනඛයන් නිසි ලෙස හැසිරවිය යුතු ආකාරය පිළිබඳව ද එහිදී න්‍යායික හා ප්‍රායෝගික දැනුමක් ලබාදීම, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහ පොලිස් නිල සුනඛ පුහුණු අංශයේ ප්‍රවීණ උපදේශකයන් විසින් සිදුකෙරුණු අතර, ඒ සම්බන්ධ අත්දැකීම් හුවමාරු කර ගැනීම ද එහිදී සිදු කෙරිණි.

තවද, මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සුනඛ සංචිතයේ සහ විශේෂ යාත්‍රා බලගණ සුනඛ සංචිතයේ සුනඛයන් මෙලෙස විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව පුහුණු කරවීම මඟින්, නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තුළදී සිදුකෙරෙන සැකකටයුතු ගොඩනැඟිලි, ස්ථාන නෞකා සහ යාත්‍රාවන්ගේ සූක්‍ෂම පරීක්‍ෂාවන් සඳහා, නාවික හමුදා සුනඛ සංචිතයේ දායකත්වය ඉදිරියේදී ඉතා ඵලදායී ලෙස යොදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT