Sunday, May 11, 2025
Home » ශ්‍රී ලංකා-අමෙරිකා හවුල්කාරීත්වය ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්-ළැදියාවන් ප්‍රවර්ධනය කරමින් ශක්තිමත් වෙලා

ශ්‍රී ලංකා-අමෙරිකා හවුල්කාරීත්වය ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්-ළැදියාවන් ප්‍රවර්ධනය කරමින් ශක්තිමත් වෙලා

by sachintha
July 8, 2024 1:49 am 0 comment

අමෙරිකා එක්සත් ජනපදයේ නිදහසේ 248 වැනි සංවත්සරයේදී තානාපතිනි ජුලී චංග් කියයි

දශක හතකට එහා ගිය ද්වීපාර්ශවික සබඳතා සමඟ ශ්‍රී ලංකා – අමෙරිකා එක්සත් ජනපද හවුල්කාරීත්වය බොහෝ අංශවල දෙරටටම පොදු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ළැදියාවන් ප්‍රවර්ධනය කරමින් ශක්තිමත් වී තිබෙන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චංග් මහත්මිය ප්‍රකාශ කරයි.

අමෙරිකා එක්සත් ජනපදයේ නිදහසේ 248 වැනි සංවත්සරය එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මියගේ සහභාගිත්වයෙන් ගාලු මුවදොර හෝටලයේදී උත්සවාකාරයෙන් සමරන ලද අතර එහිදී අදහස් දක්වමින් ඒ මහත්මිය මේ බව සඳහන් කළාය.

එම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු ඇමැති හරින් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ කීර්තිමත් නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රිකයන් සහ ව්‍යාපාරික, සිවිල් සමාජ සහ මාධ්‍ය ප්‍රජාවන්ගෙ හවුල්කරුවන් තානාපතිවරිය විසින් එම අවස්ථාවට පිළි ගන්නා ලද අතර මේ වසරේ අමෙරිකානු නිදහස් දින සැමරුම හරහා ප්‍රජාතන්ත්‍රවාදයේ චිරස්ථායි ගුණය සහ එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර ඇති ශක්තිමත් හවුල්කාරිත්වය අවධාරණය කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදය සහ එය පෙනී සිටින සියල්ල රැක ගැනීමට ඔවුන්ගේ හවුල්කාරිත්වය සහ කැපවීම වෙනුවෙන් පැමිණ සිටි අමුත්තන්ට ස්තූතිය පුද කරමින් මෙසේ ප්‍රකාශ කළාය: “අද රාත්‍රියේදී අප එක්සත් ජනපදයේ ස්වාධීනත්වය සහ අපගේ ප්‍රජාතන්ත්‍රවාදයේ උපත සමරනවා පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශ සඳහා දිගින් දිගටම පවතින අරගලය සහ ස්ථීර කැපවීම ආවර්ජනය කරනවා. වසර 248කට පෙර, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අමෙරිකාව නිරත වූ ඒ අත්හදා බැලීමේදී ස්ථිරවම කිවහැකි දෙයක් තිබුණේ නැහැ.

සියලු මිනිසුන් එක හා සමානව නිර්මාණය කර ඇති අතර ඔවුන්ට ඔවුන්ගේ නිර්මාතෘ විසින් අත්හළ නොහැකි අයිතිවාසිකම් ලබා දී ඇති බවත් ජීවිතය, නිදහස සහ සන්තෝෂය ලුහුබැඳීම ඒ අතරට ඇතුළත් වන බවත් මෙම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා මිනිසුන් අතර ඔවුන්ගේ සාධාරණ බලතල ලබාගෙන ආණ්ඩු පිහිටුවා ඇති බවත්’ සඳහන් කරනවා. අපේ මූලධර්ම, අපේක්ෂා සහ දැක්ම නිර්භයව ප්‍රකාශ කරමින් අපේ නිදහස ප්‍රකාශයට පත් කළා. නමුත් අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය මෙම ප්‍රකාශයෙන් ආරම්භ වී එයින්ම අවසන් වූයේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථිතික නොවේ, එය මූලික මූලධර්ම සඳහා වූ කැපවීම් අඛණ්ඩව අලුත් කිරීමක් වනවා.

අද අප මේ සමරන්නේ ජාතියක ආරම්භය පමණක් නොවේ, අපේ රටත්, එ.ජ.-ශ්‍රී ලංකා හවුල්කාරීත්වයත් අර්ථ දක්වන එකමුතුකමේ සහ නිදහසේ චිරස්ථායී ගුණයයි. දශක හතක් ඉක්මවන කාලයක් පුරා දිවෙන ද්විපාර්ශ්වික සබඳතා සහ ඊටත් වඩා ඈතට දිවෙන පුද්ගලයන් අතර ඇති සබඳතා සමඟ, එක්සත් ජනපද – ශ්‍රී ලංකා හවුල්කාරීත්වය රාජ්‍යතාන්ත්‍රික, වාණිජ, සංස්කෘතික සහ තවත් බොහෝ අංශවල දෙරටටම පොදු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ළැදියාවන් ප්‍රවර්ධනය කරමින් ශක්තිමත් වෙමින් පවතිනවා.

2024 නිදහස් දින සැමරුම මඟින් කලාපීය සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම, බලශක්ති සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීම, ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන පුළුල් කිරීම, ජනතාව අතර සම්බන්ධතා ගොඩනැඟීම සහ අධ්‍යාපනික සහ ඉංග්‍රීසි භාෂා අවස්ථා පුළුල් කිරීම සහ ජාත්‍යන්තර තර්ජන මැඬලීමට කටයුතු කිරීම වැනි ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය සඳහා තානාපති කාර්යාලයේ කැපවීම අවධාරණය කරනවා. අනාගතයේදී වඩාත් ශක්තිමත් එ.ජ.- ශ්‍රී ලංකා සම්බන්ධතාවක් සඳහා ඇති දැක්ම පිළිබිඹු කරමින් සියලු අංශවල සහයෝගිතාව වඩාත් ගැඹුරු ලෙස වර්ධනය කරන්නට දෙරටම කැපවී සිටිනවා” යැයි සදහන් කළාය.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT