නීති විරෝධී ජනරාශියක සාමාජිකයන්ව සිටිමින් පුද්ගලයකුට බෝතලයකින් පහරදී තුවාල සිදුකර රුපියල් එකොළොස්ලක්ෂ විසිදහසක් (11,20000) වටිනා ගෙල බැඳි රන්මාලයක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනෙකු ලබන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් දිසා විනිසුරු ගිහාන් දුමින්ද බස්නායක මහතා නියෝග කළේය.
සෙසු සැකකරුවන් හතර දෙනා ඇප මත මුදාහරින ලෙසත් ඇප කොන්දේසි ලෙස එක් සැකකරුවකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් බැගින් තැබීමෙන් අනතුරුව මුදාහරින ලෙසටක් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ඌරුබොක්ක, අමුහේන්ගොඩ පදිංචි හේවාරාළලාගේ නිරෝෂන් උදයංග සහ සදාසි ගමගේ කපිල කුමාර යන දෙදෙනායි. ඇප මත මුදාහරනු ලැබුවේ ඌරුබොක්ක, දොළමුල්ල පදිංචි කපුගේ සමීර දේශාන්, කපුගේ ගාමිණී, කුරුපනාව ගමගේ පැතුම් මධුශංක, බෙරලපනාතර, කොබෝමෑල්ල පදිංචි නිශ්ශංක රාජිත එදිරිසිංහ යන අයයි.
ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.පී.ඩබ්. පල්ලියගුරුගේ මහතාගේ උපදෙස් මත පැමිණිල්ල වෙනුවෙන් කොස්තාපල් (78230) ධනුෂ්ක මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වීය.
අපරාධ අංශයේ ස්ථානාධිපති සැරයන් (19604) සනත් මහතා සමඟ නිලධාරීන් පිරිසක් පරීක්ෂණ ආරම්භ කළ අතර පහරකෑමට ලක්වූ පිරිසක් තුවාල ලබා ඌරුබොක්ක, හීගොඩ ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් තුවාලකරුවන්ගේ ප්‍රකාශ මත පහරදී තුවාල සිදුකර ගෙල බැඳ රන්මාලය කොල්ලකා පලාගිය සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කළේය. ඒ අනුව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කඩාගත් රන්මාලය කොබෝමෑල්ල ප්‍රදේශයේ සිටින මිතුරකුට ලබා දුන් බවත් එය උකස් කර මුදල් රැගෙන ඒමට දුන් බවට පාපෝච්චාරණය කළේය. ඒ අනුව රන්මාලය ලබාදුන් බව කියන කොබෝමෑල්ල ප්‍රදේශයේ මිතුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත ඇඹිලිපිටිය නගරයේ පෞද්ගලික උගස් මධ්‍යස්ථානයකට රුපියල් ලක්ෂපහක (5,00000)ක මුදලකට උකස් කර තිබියදී සොයා ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු සමඟ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිටින අතරම සිදුවීම පිළිබඳ වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවට පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.
ඌරුබොක්ක විශේෂ ඒ.පී.දයාචන්ද්‍ර