Friday, May 9, 2025
Home » තරග සංචාර දෙකකට ශ්‍රී ලංකා පිලේ පුහුණුකාර සුක්කානම ජයසූරිය අතට

තරග සංචාර දෙකකට ශ්‍රී ලංකා පිලේ පුහුණුකාර සුක්කානම ජයසූරිය අතට

by sachintha
July 8, 2024 1:49 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා ක්‍රිකට් උපදේශකවරයා ලෙස කටයුතු කරමින් සිටින හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පත්කර ඇත. පසුගිය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් තනතුරෙන් ඉවත්වූ අතර, නැවත පූර්ණකාලීන පුහුණුකරුවකු බඳවා ගන්නාතුරු තරග සංචාර දෙකක් සඳහා අන්තර්වාර පුහුණුකරු ලෙස ජයසූරිය පත් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව පසුගිය වසරේ අගභාගයේ සිට ආර්.ප්‍රේමදාස ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාපිත කර ඇති අධිතාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේදී ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් ගැන අධීක්ෂණය භාරව කටයුතු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයකු ලෙස වසරක කාලසීමාවකට පත් වූ සනත් ජයසූරිය ඉදිරියේදී පැවැත්වෙන ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී සහ ශ්‍රී ලංකා පිලේ එංගලන්ත ටෙස්ට් සංචාරයේදී ප්‍රධාන පුහුණුකරුගේ භූමිකාව සිදු කිරීමට නියමිතය.

“ප්‍රධාන පුහුණුකරු කවුරු වුණත් අන්තිම ප්‍රතිඵලය එන්නේ ‘ටීම් වර්ක්‘ එකක් හැටියටයි. ක්‍රීඩකයන් වගේම පුහුණු කාර්ය මණ්ඩලය, මේ හැමෝම උදව් කරන්න ඕන. දැනටමත් මේ ක්‍රමවේදයට අනුගත වෙලා ඉන්න නිසා එයාලා දන්නවා මොකක්ද වෙන්න ඕන කියලා. පසුගිය කාලයේ කණ්ඩායමේ අඩුපාඩු, දුර්වලතා ගොඩක් සිද්ධ වුණා. ඒවා නිවැරදි කරගෙන ශ්‍රී ලංකාවට අහිමි වුණු ක්‍රිකට් අභිමානය ආපහු අත්කරදීම තමයි මගේ බලාපොරොත්තුව” නව තනතුර සම්බන්ධව සනත් ජයසූරියගෙන් ‘දිනමිණ’ කළ විමසුමකදී ඔහු එසේ කීවේය. එම සංචාර ද්විත්වය සඳහා කෙටිකාලීන සැලසුමක් දැනටමත් අතැතිව සිටින ජයසූරිය ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ගේ දස්කම් මුවහත් කිරීමේ අරමුණින් ඉන්දියාවේ රාජස්තාන් රෝයල්ස් පිලේ ක්‍රිකට් අධ්‍යක්ෂ සුබින් භරූෂා ගෙන්වා පිතිහරඹ සැසි කිහිපයක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

“ඒක අපේ පිතිකරුවන්ට අතිශය වැදගත් වෙයි කියලා මට හිතෙනවා. සුබින් කියන්නේ විශිෂ්ට ගණයේ පිතිහරඹ පුහුණුකරුවෙක්. ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා අපේ පිතිකරුවන්ට පුහුණු සැසි පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කර දුන්නේ කුමාර් සංගක්කාරයි. ඉදිරියේදි එම පුහුණු සැසි පැවැත්වීමට වගේම මේ සංචාර දෙක ඉලක්ක කරගෙන තවත් කෙටිකාලීන සැලසුම් කිහිපයක් සිදු කරන්න මගේ අදහසක් තියෙනවා” ජයසූරිය කීවේය.

“මේක මට අලුත් අත්දැකීමක්. මීට කලින් ජාතික කණ්ඩායමේ නායකයා විදිහටත් තේරීම් කමිටුවේ ප්‍රධානියා විදිහටත් වැඩ කරලා ‘මෑන් මැනේජ්මන්ට්‘ ගැන මට හොඳ අවබෝධයකුත්, අත්දැකීමකුත් තියෙනවා. ඒ අනුව සංචාර දෙකේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඔසවා තැබීම තමයි මගේ අපේක්ෂාව. ඒක ලොකු අභියෝගයක් වේවි. ඒත් ඒක සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා මට විශ්වාසයි. මගේ ලොකුම අවධානය තියෙන්නේ ඉන්දියාව එක්ක පැවැත්වෙන තරගාවලි සම්බන්ධවයි. මුලින්ම ඒක හොඳට කරන්න ඕනා” ඔහු පැවැසීය.

එක්දින තරග 3කට සහ විස්සයි20 තරග 3ක ක්‍රීඩා කිරීමට ඉන්දීය ක්‍රිකට් පිල මේ මස අගභාගයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර ටෙස්ට් තරග 3ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මස එංගලන්තය බලා පිටත්වීමට නියමිතව ඇත.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT