Home » දිරිය දරුවන්ගේ ව්‍යවසායකත්ව ප්‍රවර්ධනයෙන් පන්නරය ලබන කැලණිය ගුරුකුල විද්‍යාලය

දිරිය දරුවන්ගේ ව්‍යවසායකත්ව ප්‍රවර්ධනයෙන් පන්නරය ලබන කැලණිය ගුරුකුල විද්‍යාලය

by sachintha
July 10, 2024 1:02 am 0 comment

කැලණිය ගුරුකුල විද්‍යාලය දිවයිනේ නමක් රැන්දූ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රකට ජාතික පාසලකි. එයින් මෙරටට, ලොවට දායාද කළ විද්වතුන්, කලාකරුවන් රැසකි. කවදත් නැවුම් අදහස්, සිතිවිලි නිර්මාණාත්මකව සමාජගත කිරීමට ගුරුකුල විද්‍යාලයෙන් වූ මෙහෙවර සුවිශාලය. කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව දිවයින පුරා තෝරාගත් පාසල් ඇසුරෙහි ක්‍රියාත්මක කරන ‘පාසල් ව්‍යවසායකත්ව කව’ ප්‍රවර්ධන වැඩසටහනටත් එය එසේමය. ඉකුත් වර්ෂයේදී මේ ජාතික වැඩසටහන යටතේ එම දිස්ත්‍රික්කයෙන් තෝරාගත් පසල් 07න් එකක් වශයෙන්, IDBය කැලණිය ගුරුකුල විද්‍යාලය සොයා එන විටත් එහි ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය පිණිස විවිධ වැඩසටහන් දියත් කෙරෙමින් පැවතිණ. නිර්මාණ, නිෂ්පාදන අලෙවිපොළ, ප්‍රදර්ශන ආදිය ඊට අයත්ය. එයටම තවත් දිරියක් පාසල් ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය අරමුණු කර ගත් මේ යටතේ ලැබී ඇතැයි යන්න එම විද්‍යාලයීය විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු සමඟ එහි ව්‍යවසායකත්ව කව භාරව සිටින ප්‍රධාන ආචාරිනී අප්සරා වන්නිආරච්චි ගුරු මහත්මියත්, තව ද ඊට සහාය දක්වන ආචාරිනී චතුරිකා ගුරුසිංහ, 10, 11 ශ්‍රේණිවල අංශ භාර ස්වාමින් වහන්සේලා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ අදහසත් එයමය.

නියමු පදක්කම්

එසේම, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානි, කේ.ජී.ඊ. කුරුවිට මහත්මිය ඇතුළු එම දිස්ත්‍රික්කයේ පාසල් ව්‍යවසායකත්ව ප්‍රවර්ධන කව භාරව කටයුතු කරන, සංජය ගුණරත්න, එහි සහකාර අධ්‍යක්ෂිකා, චන්දි කුරුවිට යන මහත්ම මහත්මීහු ද ඊට සාක්ෂි දරති.

මේ වන විටත් කැලණිය ගුරුකුල විද්‍යාලයීය සිසු සිසුවියන් ගණනාවක්ම ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහන යටතේ නියමු පදක්කම් ලබා සිටිති. ඒ, දැනට ක්‍රියාත්මක ව්‍යවසායකත්ව කව දෙකක් යටතේය. ඉදිරියේදී තවත් ව්‍යවසායකත්ව කව පිහිටුවීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. දැනුම හුවමාරු වැඩසටහන් එයින් කැපී පෙනේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රකට ව්‍යවසායකයන් පාසලට කැඳවාගෙන ඔවුන්ගේ අත්දැකීම් සිසු සිසුවියන්ට අසන්නට සැලැස්වීමට ගුරුකුල විද්‍යාලයත් IDBයත් එක්ව කටයුතු කරයි. ඒ පන්නරය ඇතිව, කුඩා වුවත් කුඩා හෝ ව්‍යාපාරයක් අරඹන්නටත්, එය අඛණ්ඩව පවත්වාගෙන යෑමටත් මේ යටතේ සිසු සිසුවියන්ට මඟ පෙන්වනු ලැබිණ.

දැන් සිසු සිසුවියෝ ඒ ඔස්සේ විවිධ නිෂ්පාදන කරති. ඊට වෙළෙඳපොළක් පාසලේම ඇති කර දීමටත් විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය කටයුතු කරයි. ලංකා – කොරියානු සහයෝගිතා තාක්ෂණ විද්‍යාලය නැරඹීමට ඉඩ සලස්වමින් නවීන තාක්ෂණ දැනුම පිළිබඳ වැටහීමක් සිසු සිසුවියන්ට දීමටත් කැලණිය ගුරුකුල විද්‍යාලය කටයුතු කර තිබේ.

එසේම, ආචාර්ය පබිලිස් සිල්වා මහතාව සම්පත් දායකයකු වශයෙන් කැඳවා ගනිමින්, Life change in speakers ගුරුකුල විදුහල ඉකුත් වර්ෂයේදී පැවැත් වූ සම්මන්ත්‍රණයෙන් පසුව දැන් එහි අලුතෙන් හෝටල් පාසලක් අරඹා තිබේ. එය ව්‍යවසායකයන්ගේ ඇගයීමට ලක් වන්නකි. චිත්‍ර, මූර්ති, කැටයම්, ඡායාරූප නිර්මාණ ප්‍රදර්ශනයක් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජේ.ඒ.ඩී. පෙරේරා කලාගාරයේදී පැවැති විටදීත් ගුරුකුල විද්‍යාලය ඊට එක් විය. එම නිර්මාණ අලෙවි කුටියට නරඹන්නන්ගේ ආකර්ෂණයක් පැවැතිණ. එසේම එහිදී ඉහළ ආදායමක් නිර්මාණ අලෙවියෙන් ලැබීමටත් ඔවුහු සමත් වූහ.

ආකර්ෂණීය ජාතික වැඩපිළිවෙළක්

එසේම, BMICHහිදී ගුරුකුල විද්‍යාර්ථින් ද සහභාගි වූ ‘සස්ධී’ ප්‍රදර්ශනයේදීත් දැනුම, අවබෝධය බෙදා දෙමින්, නිර්මාණ, නිෂ්පාදන අලෙවියෙන් විශාල මුදලක් ඉපයීමටත් හැකියාව ලැබිණ. ඉවතලන පොල්කටු ආශ්‍රයෙන් විසිතුරු භාණ්ඩ නිපදවීමේ දක්ෂයන් ගුරුකුල විද්‍යාලය සතුය. ඔවුහු විසිතුරු බ්‍රේස්ලට්, මාල, මුදු ඒ ඇසුරෙන් නිමවති. මේ සියල්ල මෙහි දැනට ක්‍රියාත්මක ව්‍යවසායකත්ව කව වන, Dream work circle, create eye circleහි සිසු සිසුවියන්ගේ හපන්කම්ය.

තවදුරටත් ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය භාරව කටයුතු කරන, එම විද්‍යාලයේ ආචාරිනී අප්සරා වන්නිආරච්චි මහත්මිය ඒ පිළිබඳ විස්තර කරන්නේ,

“කර්මාන්ත ක්ෂේත්‍රයට පිවිස, ව්‍යවසායකත්වය ඔප්නංවා ගැනීමට අපේ විද්‍යාලයේ බොහෝ සිසු සිසුවියන් කැමැත්තෙන් පසු වෙනවා. දැනට ඒ මඟට පිවිසි අය තවදුරටත් ඉදිරියට යන මංපෙත් විමසනවා. ඒ අනුව මෙය ඉතා ආකර්ෂණීය ජාතික වැඩපිළිවෙළක් විදියට හඳුන්වා දිය හැකියි. පාවහන්, බොන්සායි, ටෙරරියම්, කී ටැග්, විසිතුරු පෑන් ආදී නිර්මාණකරණය කෙරෙහිත් අඩු පහසුකම් යටතේ වුවත් සිසුන් ඉහළ හපන්කම් පෙන්වනවා. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් ඊට ලැබෙන අතහිත ගැනත් කිව යුතුමයි. අප පාසලේ මිහිඳු සත්සර ශිෂ්‍යයා බොන්සායි නිර්මාණ කලාවෙන් ජාතික මට්ටමෙන් ඉහළ දක්ෂතා පෙන්වමින් සිටිනවා. ඒ අනුව නුදුරේදීම තවත් ව්‍යවසායකත්ව කව අලුතෙන් ආරම්භ කිරීමටත් කැලණිය ගුරුකුල විද්‍යාලය කටයුතු යෙදා තියෙනවා…” යනුවෙනි.

නුවන් මහේෂ් ජයවික්‍රම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT