ගසකට යටවීමෙන් මියගිය බවට සැකකරන දහසය හැවිරිදි පාසල් සිසුවියකගේ තුවාල සහිත මළ සිරුරක් නිවිතිගල වටාපොත අක්කර පනහ ප්‍රදේශයේ රබර් වත්තක තිබියදී පෙරේදා (08) දින සොයා ගැනීමට හැකිවූ බව නිවිතිගල පොලිසිය පවසයි.
නිවිතිගල අක්කර පනහ ප්‍රදේශයේ පදිංචි වටාපොත හෙට්ටිගේ ඒසදී සේනාරත්න නමැති දැරිය එසේ මියගොස් ඇති අතර ඇය නිවිතිගල වටාපොත මහ විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලබන සිසුවියක් බව පොලිසිය පවසයි.
එදින පාසල් දිනයක් වුවද ඇය පාසලට ගොස් නැති අතර නිවසේ සිට ඇයගේ පියාට අයත් වෙළෙඳසලකට යමින් සිටියදී එම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි. දැරිය වැටී සිටි ස්ථානයට අඩි කීපයක දුරක ලේ පැල්ලමක් හා ඇය රැගෙන ගිය බව කියන පාසල් බෑගයක් දකින්නට තිබුණු අතර එම ස්ථානයට ඉහළින් කපා බිම හෙළා තිබුණු රබර් ගසක් හා ඉදිරී බිම පතිත වී තිබුණු රබර් ගසක් දකින්නට තිබුණි. එලෙස වැටී තිබුණු රබර් ගස් කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත්වලින් කපා කුට්ටිකර තිබුණි. දැරියගේ මළ සිරුර අසල ගසේ කොටස් දකින්ට නොලැබුණු අතර ඒ අසල තිබුණු ගසේ කැබැලි කිසියම් පිරිසක් විසින් ඉවත් කරන්නට ඇති බව පොලිසිය පවසයි. එම ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් කිත්සිරි අරඹවත්ත මහතා විසින් සිදු කරනු ලැබීය. එම අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් කරමින් දැරියගේ මව පැවැසුවේ තම දියණිය එම ස්ථානයේ වැටී සිටි අවස්ථාවේ රබර් ගස් කපමින් සිටි පුද්ගලයන් එම තුවාල කාරිය හඳුනනවාදැයි බලන ලෙස තමන්ට දැන්වූ බවකි. තම දියණිය එසේ වැටී සිටින බවත් වහා ඇය රෝහල් ගත කිරීමට සහය දෙන ලෙස ඉල්ලූ නමුත් ඔවුන් සහය නොදුන් බවක් මව පවසයි. දැරියගේ මළ සිරුර රත්නපුර මහ රෝහලට ගෙන ගොස් එහි අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය. එම නියෝගයට අනුව එම මළ සිරුර පොලිසිය විසින් රෝහල වෙත රැගෙන යනු ලැබූ අතර නිවිතිගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් පාලිත මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ සිදු කරති.
ඇඹිලිපිටිය – කසුන් දර්ශන සමරවීර
කහවත්ත – නිරෝෂණ පෙරේරා
රත්නපුර විශේෂ – එන්.පී. රජදෝරේ