ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින හා බංග්ලාදේශය සහභාගි වන අවුරුදු 18න් පහළ දකුණු ආසියානු සුදුසුකම් ලබා ගැනීමේ බාස්කට්බෝල් තරගාවලිය අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරගාවලිය මේ 13 දක්වා පැවැත්වීමට දකුණු ආසියානු බාස්කට්බෝල් සංගමය කටයුතු යොදා ඇත.
ජාත්‍යන්තර බාස්කට්බෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මේ තරගාවලියේ ජයග්‍රාහකයන්ට FIBA 18න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවීමට අවස්ථාව හිමි වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කොළඹ සාන්ත ජෝසප් විදුහලේ මෙතික ජයසිංහ දරන අතර, උප නායකයා ලෙස කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ එවීන් සේනාරත්න කටයුතු කරයි. යොවුන් බාස්කට්බෝල් කණ්ඩායම් රැසක් මෙහෙයවා ජයග්‍රහණ අත්කර දුන් පුහුණුකරුවකු වූ රොෂාන් රන්දිම මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.
නායක මෙතික ඉදිරි පෙළ ක්‍රීඩා කරන අතර, 2022 වසරේ පැවති අවුරුදු 18න් පහළ ‘ඒ’ කොටසේ ශූරතාවලියේ සහ 2024 වසරේ පැවති අවුරුදු 20න් පහළ ‘ඒ’ කොටසේ ශූරතාවලියේදී සාන්ත ජෝසප් විදුහල ජයග්‍රහණය කරා රැගෙන යෑමට නායකත්වය ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පළමු තරගය ඉන්දියාවට එරෙහිව අද පස්වරු 6.30ට පැවැත්වෙන අතර, දෙවැනි තරගය හෙට 6.30ට ඉන්දියාවට එරෙහිව හා තෙවැනි තරගය 13 වැනිදා මාලදිවයිනට එරෙහිව පැවැත්වේ.
ශ්‍රී ලංකා අවුරුදු 18න් පහළ බාස්කට්බෝල් සංචිතය: මෙතික ජයසිංහ (සා. ජෝසප්), එවීන් සේනාරත්න (ඩී.එස්.), ඩයන් තේවකුමාර් (සා. බෙනඩික්ට්), ඩැරන් බර්නාඩ් (සා. ජෝසප්), ධිලුක් සමරවික්‍රම (මෙල්බර්න් උසස් පාසල), චමින්දු විජේසිංහ (සා. ජෝසප්), සුදම් ලියනගේ (ආනන්ද), ඒඩ්‍රියන් විජයවර්ධන (සා. ජෝසප්), නේදන් ජයසේකර (වෙස්ලි), තාරුක ජයසුන්දර (රාජකීය), දෙව්නිල වික්‍රමාරච්චි (වත්තල ලයිසියම්), ජූඩ් ආකාශ් (සා. ජෝසප්). අතිරේක ක්‍රීඩකයන් – තීක්ෂණ ප්‍රනාන්දු (වෙස්ලි), දහන් විද්‍යාරත්න (වත්තල ලයිසියම්), සිහත් කලටුවගේ (මැක්කිලොප් කතෝලික විදුහල), රනික් ද සිල්වා (එල්.පී.එෆ්. ඇකඩමි), පුහුණුකරුවන් – රොෂාන් රන්දිම සහ ෂේන් ඩැනියල්ස්, කණ්ඩායමේ කළමනාකරුවන් – ප්‍රසාද් සහ හෂේන්ද්‍ර.
ප්‍රින්ස් ගුණසේකර