විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී අවිධිමත් ලෙස නිවාස ණය ලබා දුන් ඇතැම් පුද්ගලයන්ගේ නිවැරදි ලිපිනයක් හෝ සොයා ගැනීමටවත් නොහැකි බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටි 2015 – 2019 වසර 05 තුළ නිවාස ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් මුදල් නැතිව ආරම්භ කර අතරමඟ නතර කර දමා තිබූ බව ද ඇමැතිවරයා පැවසීය. තමන් වැඩිපුර නිවාස හදන බව රටට පෙන්වීම සඳහා ඇස්තමේන්තු මුදලට වඩා නිවාස සංඛ්‍යාවකට ගිවිසුම්ගත වීම හේතුවෙන් මෙම අර්බුදය මතුව තිබූ බව ද ඇමැතිවරයා කීවේය. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ පසුගිය මස 20 වැනිදා විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී එල්ල කළ චෝදනාවකට පිළිතුරු ලබා දෙමිනි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය ජූනි 20 වැනිදා විශේෂ ප්‍රකාශයක් කළා. එහිදී ඔහු චෝදනා කීපයක් මගේ අමාත්‍යාංශයට සහ ආයතනවලට එල්ල කළා.
එහිදී ප්‍රධාන චෝදනාවක් එල්ල වුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට. ඔහු කිව්වා 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ අපේ රටේ ක්‍රියාත්මක වුණු නිවාස වැඩසටහන් කිහිපයක් එකවරම නතර කළා කියලා. ඔහු ඉල්ලීමක් කළා නතර කරලා තියෙන හිඟ වාරික ගෙවන්න කියලා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ සම්බන්ධව මට පැහැදිලි කිරීමක් එවලා තියෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා නිවාස අමාත්‍යවරයාව කටයුතු කළ 2015 සිට 2019 දක්වා වූ කාලය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කළා.
ආදර්ශ ගම්මාන, විසිරි ණය, විසිරි ණය ආධාර, වකුගඩු ආධාර, විරු සුමිතුරු ආධාර, ග්‍රාම ශක්ති විසිරි ආධාර, ගංවතුර ආධාර කියන ව්‍යාපෘති තමයි ක්‍රියාත්මක වුණේ. මේ ව්‍යාපෘති සමහර ඒවා අලුත් ඒවා නෙවෙයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කරපු දවසේ ඉඳලාම ක්‍රියාත්මක කරපුවා.
එතුමාගේ කාල සීමාවේදී පවුල් 341,510කගේ නිවාස ඉදිකිරීමට සහ නිවාස අලුත්වැඩියා කිරීමට වැඩ ආරම්භ කරලා තියෙනවා. මේ සඳහා අවශ්‍ය වුණු මුදල රුපියල් මිලියන 57,428යි. නමුත් මේ සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 46,265යි. මේ වෙන් කළ මුදල අනුව අලුතින් ඉදිකළ හැකි සහ අලුත්වැඩියා කටයුතු සඳහා පහසුකම් සැලසිය හැකිව තිබුණේ නිවාස 237,748කට පමණයි. 2015-2019 කාලයේදී නිවාස ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මුදල් නොමැතිව වැඩ ආරම්භ කර තිබෙනවා. රජයෙන් වෙන් කළ මුදලට වඩා නිවාස හදන්න මිනිස්සුන්ට පොරොන්දු වෙලා කියලා. හැබැයි ඒ පොරොන්දු වෙච්ච මුදල මහාභාණ්ඩාගාරයෙන් ඔහුට ලබා ගන්න නොහැකි වීම නිසා විශාල නිවාස සංඛ්‍යාවක් භාගෙට ඉදිකරලා නවත්තලා තිබුණා.