බලහත්කාරයෙන් කම්කරු සේවයට කාන්තාවන් යොදවා ගන්නා මිනිස් ජාවාරමක් හෙළි කර ගැනීමට අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්ත පොලිසිය සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රාන්තයේ නිවෙසක රඳවා තබා සිටි කාන්තාවන් 15 දෙනකු ප්‍රාන්ත පොලිසිය විසින් මුදා ගනු ලැබූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඔවුන් මුදා ගැනීමට හැකි වී ඇත්තේ මේ පිළිබඳ වාර්තා වූ තොරතුරුවලට අනුව පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගත් ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් සිව්දෙනකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව බව ද වාර්තා වේ. එසේ අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් අතර කාන්තාවක් ද සිටින අතර, ඔවුන්ගෙන් ලද තොරතුරු මත පසුගියදා ටෙක්සාස් ප්‍රාන්තයේ අදාළ නිවෙස වැටලූ පොලිසිය කාන්තාවන් 15 දෙනා මුදා ගෙන තිබේ.
එම නිවෙසේ බිම් මහලේ නවාතැන් ගෙන සිටි කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් තරුණ වියේ පසුවන අය බවත්, පරිගණකයක්, ලැප්ටොප් පරිගණක හා ජංගම දුරකතන කිහිපයක් සහ බ්ලැන්කට් කිහිපයක් හැරුණු විට නිවෙසේ කිසිදු ගෘහ භාණ්ඩයක් නොතිබූ බවත් ටෙක්සාස් පොලිසිය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. එම භාණ්ඩ ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මුදාගත් කාන්තාවන්ගෙන් ලැබෙන තොරතුරු මත පදනම්ව අත්අඩංගුවට පත්වූ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට ටෙක්සාස් ප්‍රාන්ත පොලිසිය විමර්ශන කටයුතු සිදු කරන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.