ආයෝජනය සඳහා යැයි පවසමින් රුපියල් 29,700,000.00ක මුදලක් ලබාගෙන නැවත ලබා නොදී සාපරාධී විශ්වාසය කඩ කළ බවට බන්ධනාගාරගත කර සිටි චීන ජාතිකයා තවදුරටත් ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතා ඊයේ නියෝග කළේය.
පැමිණිලිකාර චීන ජාතික කාන්තාව මුදල් යොමු කර ඇත්තේ වට්ස්ඇප් මඟින් බව කී රහස් පොලිසිය විමර්ශන අවසන් නැති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ චීන ජාතික ටින් කියාන් නමැති අයෙකි.
තමන් දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ආයෝජනය කරමින් සිටින බවත් 2022දී සැකකරුට ආයෝජන සඳහා මුදල් ලබා දුන්නද එම මුදල් ආපසු නොලැබුණු අතර මුදල් සම්බන්ධයෙන් යොමු කළ වට්ස්ඇප් පණිවිඩ සැකකරු මකා දමා ඇති බවත් කියමින් කොළඹ 4 හි පදිංචි චීන ජාතික වෑන් ජුරොන්ග් සිදු කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කර ඇත.
සැකකරුගේ ජංගම දුරකතනයේ වට්ස්ඇප් පණිවුඩ සම්බන්ධ විමර්ශන සිදු කරමින් පවතින බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.