අවුරා ලංකා සමාගමේ අධිපති ව්‍යාපාරික විරංජිත් තාඹුගල නමැත්තා සම්බන්ධයෙන් දිවයිනේ විවිධ අධිකරණවල නඩු රැසක් පවතින බවත්, ඔහු තම අපරාධ වසන් කර ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකු උපාය දූතයෙකු ලෙස යොදාගෙන ඇති බවට කරුණු අනාවරණය වන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.
මෙම සැකකරු එවැනි ක්‍රියාවක් සිදුකර ඇත්නම් එය බරපතළ තත්ත්වයක් වන අතර, සැකකරුට එරෙහිව මෙම අධිකරණයේ පවතින පරීක්ෂණය මඟහැර යාම සඳහා විවිධ ප්‍රකාශ සිදු කරමින් අධිකරණය වේදිකාවක් කර ගැනීමට කටයුතු කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී ප්‍රකාශ කළේය.
නැවත ලබාදීමේ පදනම මත ගත් රුපියල් මිලියන 70ක මුදලක් ආපසු නොදී වංචා කළැයි කියන අවුරා ලංකා සමාගමේ අධිපති ව්‍යාපාරික විරංජිත් තාඹුගලට එරෙහි මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය හමුවේ ඊයේ (10) කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම සැකකරු විමර්ශන සඳහා සහාය නොදක්වන බවයි.
මෙම සැකකරුට 2018 වසරේ සිට 2022 වසර දක්වා අමෙරිකාවේ සිට අමෙරිකානු ඩොලර් 26,429,490ක මුදලක් ලැබී ඇති බවට කරුණු අනාවරණය වන අතර ඒ පිළිබඳව නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
එවැනි පරීක්ෂණයක් පැවැත්වෙන අවස්ථාවක මෙම සැකකරු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ දින තුනක රහස් ප්‍රකාශයක් ලබාදී ඇති බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්යක්ෂවරයා මෙම සැකකරුගෙන් රුපියල් කෝටි තිහක කප්පම් මුදලක් ඉල්ලා එය කෝටි පහකට අඩුකර ඉන් කෝටි දෙකක් ලබාගෙන ඇති බවට ප්‍රකාශ කර ඇති බවත්, රාජ්‍ය නිලධාරීන් මෙවැනි ආකාරයෙන් කටයුතු කරන්නේ නම් එය බරපතළ තත්ත්වයක් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.
එවැනි නිලධාරීන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇති අතර මෙවැනි ආකාරයේ සිදුවීමක් සිදුවුණි නම් සැකකරු සිදු කළ යුත්තේ අල්ලස් කොමිසමට හෝ සුදුසු ආයතනයකට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ නීතිඥ උපාලි ජයමාන්න මහතා කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ තම සේවාදායකයා විමර්ශනවලට සහාය නොදක්වන බවට කරන ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවය.
තම සේවාදායකයා සහ පොලිස් නිලධාරීන් අතර ඇතිවූ බව කියන ගනුදෙනුව සම්බන්ධයෙන් හඬපට සියල්ලක්ම ඔහු සතුව ඇතැයි ද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව ආරක්ෂාව ලබාදීමේ නියෝගයක් නිකුත් නොකරන ලෙසටද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන ඉල්ලීම ප්‍රතික්ෂේප කර නඩුව ලබන ඔක්තෝබර් මස තුන්වෙනිදා තෙක් කල් තැබීය.
අයි.ඩබ්ලිව්.එස්. හෝල්ඩින් පුද්ගලික සමාගමේ අධිපති ආතර් සේනානායක මහතා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
දින පහළොවක් ඇතුළත නැවත ලබා දෙන පොරොන්දුව මත මෙම රුපියල් මිලියන හැත්තෑවක මුදල සැකකරු විසින් ලබාගෙන ඇති බවත්, මෙයින් සැකකරු අපරාධමය වරදක් සිදුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.