අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන තවදුරටත් සිදු කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි අභියාචනාධිකරණයට ඊයේ (10) පෙත්සමක් ගොනු කළාය.
පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්යක්ෂවරයා, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා සහ එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ ලෙස නම් කර සිටිති. නීතිඥ සංජීව ඇන්තනී මහතා මඟින් පවරා ඇති මෙම පෙත්සම මඟින් පෙත්සම්කාරිය සඳහන් කරන්නේ සිය වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් සිදු කරමින් ඒ සම්බන්ධයෙන් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවය. එම විමර්ශන කටයුතු නීතියට පටහැනි වන අයුරින් අසාධාරණ ලෙස සිදු කරන බවට පෙත්සම මඟින් පැමිණිලි කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරන එම විමර්ශන කටයුතු වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත.