
කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා තලවකැලේ ශාන්ත කුම්බිස් තේ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටි අයුරු.
මෙරට තේ අපනයනයෙන් මෙම වර්ෂයේදී අමෙරිකන් ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
පසුගිය වසර දෙක තුළදී ද අමෙරිකන් ඩොලර් බිලියන 1 සිට 1.2 දක්වා වූ විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට හැකි වී තිබේ.
දැනට රටවල් 150කට ශ්‍රී ලංකාවේ තේ අපනයනය කරනු ලබන අතර ඉන් රටවල් 20ක්ම මහා පරිමාණයෙන් ශ්‍රී ලංකා තේ මිල දී ගනු ලබයි. තලවකැලේ තේ පර්යේෂණ ආයතනය මඟින් මේ වනවිට නව තේ ප්‍රභේද 70ක් හඳුන්වාදී ඇති අතර මෙම තේ ප්‍රභේද සඳහා අන්තර්ජාතිකව ඉහළ ඉල්ලුමක් පවතියි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා (07) ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සහ තලවකැලේ සාන්ත කුම්බ්ස් තේ කර්මාන්ත ශාලාවේ ප්‍රගතිය සම්බන්ධව පවත්වනු ලැබූ සමාලෝචන රැස්වීමේදී මේ කරුණු අනාවරණය විය.
2021 රසායනික පොහොර තහනම මෙරට තේ වගාවට ද බලපෑම් එල්ල කර තිබූ අතර මේ නිසා 2022, 2023 වර්ෂවලදී තේ වගාව සඳහා පොහොර යෙදීම අඩු වී තිබිණි. මේ නිසා තේ වගාවේ අස්වැන්නේ ද යම් අඩුවීමක් සිදු විය. නමුත් මෙම වර්ෂයේ සිට රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් තේ සඳහා පොහොර සහන මිලකට ලබා දීමට කටයුතු කරනු ලැබීය. වෙළෙඳපොළේ රුපියල් 14,000ක් පමණ වන තේ පොහොර වර්ග තුනක් කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 5500 සිට රුපියල් 7500 දක්වා මිලකට ලබාදීමට පියවර ගත්තේය. මෙම සහනාධාරය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල්වලින් රුපියල් මිලියන 1200ක මුදලක් වෙන් කර තිබේ. මේ වන විට අදියර තුනක් යටතේ තේ වගාව සඳහා පොහොර යෙදීම ආරම්භ කර ඇත. පළමු අදියර යටතේ තේ පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් බෙදා දීමට නියමිත අතර මේ වන විටත් ඉන් මෙට්‍රික් ටොන් 10,000ක් බෙදාහැරීම අවසන් කර ඇත. තේ වගාව සඳහා පොහොර යෙදීම මෙන්ම පුරප්පාඩු ස්ථානවල පැළ රෝපණය මඟින් ඉදිරි වර්ෂය තුළ තේ වගාවේ ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි මෙම සාකච්ඡාවට එක්වූ නිලධාරීහු සඳහන් කළහ.
මෙම සාකච්ඡාවේදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේ මෙරට තේ කර්මාන්තයේ සංවර්ධනය සඳහා දැනට වගා කර තිබෙන ඉඩම් ප්‍රමාණවත් වන අතර තවදුරටත් අලුත් ඉඩම් තේ වගාව සඳහා යොදා නොගන්නා බවයි. ඒ වෙනුවට දැනට තේ වගා කර ඇති ඉඩම්වලින් ඉහළම අස්වැන්නක් ලබාගත හැකි වන පරිදි තේ වගාවන්ට පොහොර යෙදීම, පුරප්පාඩු පැළ රෝපණය, අධි ඝනත්ව වගා ක්‍රමය හඳුන්වා දීම මෙන්ම අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් තේ ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා ද තේ පර්යේෂණ ආයතනය මඟින් කටයුතු යොදන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.