පිරිවෙන් මණ්ඩලය ඉදිරි සතිය තුළදී කැඳවිය හැකියි
ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත
පිරිවෙන් මණ්ඩලය ඉදිරි සතිය තුළදී කැඳවිය හැකි බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසීය.
පිරිවෙන් මණ්ඩලය රැස් නොවීම නිසා පිරිවෙන් තුළ අධ්‍යාපනය, මූල්‍ය, පරිපාලනය, විනය සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුව ඇතැයි දැනුම් දෙමින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
පිරිවෙන් මණ්ඩලය ස්ථාපනය කිරීමේදී එක් අයකු වැඩියෙන් සිටි නිසා ගත් තීරණ බල රහිත වුණා.
පිරිවෙන් මණ්ඩලය සහ පිරිවෙන් අධ්‍යක්ෂ ධුරය යනාදිය ආයතන දෙකක්. පසුගිය කාලය තුළදී පිරිවෙන් මණ්ඩලයට රැස්වීමට නොහැකි වූයේ පිරිවෙන් අධ්‍යක්ෂ ධුරය නිසා නොවේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත පිරිවෙන් අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබෙනවා.
දහම් පාසල් අවසන් විභාගය සහ ධර්මාචාර්ය විභාගය ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව යටතේ ශ්‍රේණිගත කිරීමේ සැලසුමක් මේ වන විට බුද්ධශාසන අමාත්‍යාංශය සමඟ එක්ව සිදු කරනවා.
හෙක්ටයාර් 36,000ක් සිංහරාජයට අයිතියි
අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන්
ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි
සිංහරාජ ලෝක උරුම වන රක්ෂිතය 2019 නොවැම්බර් 20 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රය මඟින් හෙක්ටයාර් 36,474.93ක භූමියකින් යුක්ත බවට ප්‍රකාශයට පත් කර ඇතැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසුවාය.
මෙම වන රක්ෂිතයේ භූමි ප්‍රමාණය ගැසට් කර නොමැති බවට ප්‍රකාශ කරමින් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරිය මේ බව පැවසීය.
තවදුරටත් ඇමැතිවරිය මෙසේද පැවසීය. වන රක්ෂිතයට අයත් භූමි ප්‍රමාණය 2019 නොවැම්බර් 11 වැනිදා ගැසට් කර ලෝක උරුමයක් බවට පත් කර තිබෙනවා.
වන රක්ෂිතයේ භූමි ප්‍රමාණය ගැසට් කරන විට ඇතැම් අවස්ථාවලදී ජනතාව භුක්ති විඳි ඉඩම් ද ගැසට් කර ඇති බවට චෝදනා තිබෙනවා. වන රක්ෂිතයන්ට අයත් භූමි ප්‍රමාණයන් ගැසට් කරන විට ජනතාව භුක්ති විඳින ඉඩම් ඔවුන්ට ගැටලුවක් නොවන ලෙස ඉතාම කල්පනාකාරීව රජයට පවරා ගැනීම කළ යුතුයි. වන සංරක්ෂණ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඉඩම් ගැසට් කළ පසුව එය නැවත බල රහිත කිරීම අපහසුයි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කිරීමට සිදුව ඇත්තේ බීරි ආණ්ඩුවකට
මන්ත්‍රී කබීර් හෂීම්
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කිරීමට සිදුව ඇත්තේ බීරි ආණ්ඩුවකට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසීය.
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
සුසාන භූමියකට ගොස් කතා කරන විට කිසිවකුටත් ඇහෙන්නේ නෑ මෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේ කතා කිරීම සුසාන භූමියක කතා කරනවා වගේ දෙයක් වී තිබෙනවා. අඩුම ගානේ පාර්ලිමේන්තුවේ මූලාසනයටවත් විපක්ෂයේ කතා ඇහෙන්නේ නැහැ.
ආණ්ඩුව අවංක නොවී යටි අභිප්රායන් මුල් කරගෙන කටයුතු කිරීම නිසා රටට අවාසිසහගත තත්ත්වයන් උදාවෙලා තිබෙනවා. බදු සහන වැළැක්වූවා නම් අස්වැසුමෙන් ජනතාවට දැන් ලබා දෙනවා වගේ පස් ගුණයක් සුබසාධන ලබාදිය හැකි වෙනවා. දේශීය ආර්ථිකයට උත්තේජනයක් ලබා දීමෙන් ආර්ථික වර්ධනයක් කරා ගෙන යා හැකියි. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් දරා ගත නොහැකි ලෙස ජලය, විදුලිය, ඉන්ධන මිල වැඩිවෙලා. මෙම ව්‍යාපාරිකයන් නඟා නොසිටු වීම කරන්නේ නම් රට තුළ ආර්ථික උත්තේජනයක් ඇති කරන්නේ කොහොමද?
පාසල් පුස්තකාලවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපතක් ලබා දෙන්න
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
සියලුම පාසල් පුස්තකාල සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පිටපතක් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපන ඇමැතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (10) විශේෂ ඉල්ලීමක් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ඊයේ (10) දිනට නියමිත කටයුතු ආරම්භ කිරීමෙන් පසුව සභානායකවරයාගේ අවධානය සඳහා අදාළ කරුණ යොමු කරමිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපත් පාසල් පද්ධතිය තුළ නොමැතිවීම විශාල අඩුපාඩුවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාසල් දූ පුතුන් දැනුම්වත් කිරීමටද නිසි වැඩපිළිවෙළක් නැහැ.
ආර්ථික පරිවර්තන පනත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා
මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ
ආර්ථික පරිවර්තන පනත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසීය.
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.
ඇමැතිවරයා මෙසේද පැවසීය.
රට ආර්ථික පරිහානියට පත් වීම වැළැක්වීම මෙම පනත මඟින් සිදු කරනවා. මෙම පනතේ ඇතුළත් ඇතැම් කරුණු ආර්ථික විද්‍යා විෂය ධාරාවට ඇතුළත් කර දරුවන්ට අධ්‍යාපනය ලබාදීම මඟින් අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ට රට තුළ සාර්ථක ආර්ථික කළමනාකරණයක් ස්ථාපිත කිරීමට හැකියි.
සමස්ත ආර්ථික ක්‍රියාවලිය තුළ විශ්‍රාම අරමුදල්වලට ප්රතිලාභ ලබා දෙන්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් යොමු කළා. සියයට 12ක් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා ලබා දීමට ආණ්ඩුව පොරොන්දු වුණා කියලා එහිදී ප්‍රකාශ කළා. අපි සියයට 12ක් ලබා දීමට පොරොන්දු වුණා නම් අපි මේ වන විට එය සියයට 13ක් දක්වා පරිවර්තනය කර තිබෙනවා. එය තමයි මුලින්ම මට කියන්න ඕනෑ වුණේ. විශ්‍රාමික අරමුදල ආකාර තුනකින් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සම්බන්ධ වෙලා. එකක් තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාව පළ කිරීම. එසේ වුණා නම් සියයට 9.1ක් ඒ අරමුදල්වලට පොලිය ලෙස ලැබෙනවා. සම්බන්ධ නොවුණොත් ආදායම් බදු ගෙවන ප්‍රමාණය සියයට 30 දක්වා වැඩි වෙනවා. ඒ අනුව පොලී අනුපාතය සියයට 7.7 දක්වා අඩු වෙනවා. තුන්වැනි ආකාරය තමයි මේ තිබෙන ආකාරයටම සියයට 14ක ආදායම් බදු ප්‍රමාණය රඳවාගෙන යාම. එසේ වුවහොත් සියයට 9.4ක පොලියක් ලැබෙනවා. මේ කාරණාව තමයි පාර්ලිමේන්තුව අනුමත කළේ. මේ විදිහට ලේඛනගතව පේන්න තිබියදී රටේ ජනතාව නොමඟ යැවීම වැරදියි. ඇත්ත පෙනී පෙනී එය බොරුවක් විදිහට දකින මිනිස්සුන්ට ගමේ අය කියන්නේ මොළේ කුලප්පු වුණ අය කියලා. ඇත්ත දැක දැක මේ අය කියන දේ ගැන කනගාටුයි. දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට මෙරට ජනතාව ගින්දරේ තැබීමට විපක්ෂය සැලසුම් කළා. ජනාධිපතිවරණයක් තවම ප්‍රකාශයට පත් කර නැහැ.
විරුද්ධ පක්ෂයේ සිට හැමදේටම විරුද්ධ වීම රටක් පාලනය කිරීමේදී දක්ෂකමක්වත් සුදුසුකමක්වත් නොවෙයි. ඔවුන්ගේ බියගුලු බව තමයි එමඟින් පෙන්නුම් කරන්නේ. රටේ මිලියන 22 ජීවත් කරන්න තීන්දු ගන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ජාත්‍යන්තර වශයෙන් අපේ රටට හැම රටක්ම උදවු කළා. නමුත් විපක්ෂයට බැරි වුණා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය පැත්තකින් තබලා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රටේ ජනතාවට උදවු කරන්න. ණය ප්‍රතිව්‍යුහගතකරණයකට නොගියා නම් අද සිටින තත්ත්වය අපට ළඟා කර ගන්න නොහැකි වෙනවා. සියයට 70ක උද්ධමනයක් තිබෙන විට රටේ ජනතාවගේ වත්කම්වල වටිනාකමට වනුයේ කුමක්ද? ඒ සියයට 70 උද්ධමනය සියයට 90 දක්වා ගියොත් අපට ජීවත් විය නොහැකි තත්ත්වයක් උදා වෙනවා.
බිලියන ගණනින් බදු නොගෙවා සිටින ස්කාගාරවලින් ඒවා අය කර ගන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ
මන්ත්‍රී ජයන්ත සමරවීර
ස්කාගාර, බිලියන ගණනින් බදු අධිභාර නොගෙවා පැහැර හැර තිබියදී ඒවා අය කර ගැනීමට ආණ්ඩුව කටයුතු නොකරන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසීය. ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රැසක් ද බාර් පර්මිට් ලබාගෙන තිබෙනවා. එසේ රැගෙන තිබෙනුයේ හෙට අනිද්දා පවත්වන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා ළඟට ඒමට සිටින සජබ මන්ත්‍රීවරුන්.
2023 වසරේ සිට 2024 ජූනි 15 දක්වා සමාගම් 4ක් රුපියල් බිලියන 1878ක බදු මුදලක් ගෙවා නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ක්‍රම සහ විධි කාරක සභාවට දැනුම් දෙනවා. බදු පැහැර හැර තිබෙන සමාගම් අදත් ස්ප්‍රීතු, මද්‍යසාර නිෂ්පාදනයේ නියැළෙනවා. නොගෙවා හරින ලද බදු රුපියල් බිලියන 1693ක් තිබියදීම සමාගම් දෙකක් ඈවර කර තිබෙනවා. එකක් ග්ලෝබල් බෙන්ඩර්ස් සමාගම. ඉන් අයවිය යුතු බදු මුදල රුපියල් බිලියන 1100 යි. මැකලම් බෲවරි අනෙක් සමාගම. ඉන් අය විය යුතු බදු මුදල රුපියල් බිලියන 593 යි. සුරාබදු ආඥා පනතට අනුව ස්කාගාරයක් දින 15කට වරක් බදු ගෙවීම කළ යුතුයි. එසේ නොකරනවා නම් අධිභාරයක් පැනවෙනවා. මෙන්ඩිස් සමාගම බදු ගෙවන්නෙත් නෑ. අධිභාර ගෙවන්නෙත් නෑ. සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම වගකීම තමයි සුරා බද්ද රජයට අය කරදීම. මේ දෙපාර්තමේන්තුවෙන් එය සිදු වන්නේ නැහැ. ඇයි? දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් 56ක් සිටිය යුතු තැන අද සිටින්නේ 12යි. 44ක් නැහැ. පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් තුනෙන් එකයි සිටින්නේ. නිලධාරීන් නැතිව දෙපාර්තමේන්තුවේ වගකීම ඉටු කළ නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. බාර් 6000ක් රට තුළ දැන් තිබෙනවා. ගෙයක් ගෙයක් ගාණේ බාර් දාලා රට බේබදු රටක් කරන්න යනවා.
විදත් වාහන ගෙන්වීමේදී අවභාවිතයක් සිදුව තිබෙනවා
මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා
සංචාරක ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අලුත් වාහන 1000ක් ගෙන්වීමට අවසර ලබාදුන් අතර මෙරටට විදත් වාහන ගෙන්වීමේදී අවභාවිතයක් සිදුව ඇති බව හෙළිව ඇතැයි මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද වාර්තා කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. සංචාරක ක්ෂේත්රයට වාහන අවශ්‍යයි. ඒ සඳහා විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එමඟින් වාහන 1000ක් ගේන්න අනුමැතිය ලබා දී තිබෙනවා. අලුත්ම කුඩා කෝච් සහ බස් රථ 250ක් වෑන් රථ 750ක් මීට ඇතුළත් වෙනවා. මෙම වාහන ගේන්න මුදල් කාරක සභාව අනුමත කළා. අලුත් වාහන සඳහා තමයි අනුමැතිය ලබාදී තිබෙන්නේ. සංචාරක කර්මාන්තය සඳහා වාහන අවශ්‍ය බැවින් කාරක සභාව ඒ සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. මෙහිදී ගැටලු මතුව තිබෙනවා. විදේශයන්හි වැඩ කරන අය සඳහා ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීම සම්බන්ධයෙන්. ඒ නිසා අපි මුදල් අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, මහ බැංකුව, පිස්කල් පොලිසි කස්ටම් එක සහ ඉමිග්රේෂන් එකෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කළා මේ ගැන හොයන්න. එහි වාර්තාව අපට ලැබුණා. එම වාර්තාව සභාගත කරනවා. එහි තිබෙනවා මේ වැඩේ අවභාවිත කරලා තිබෙනවා කියලා.
මෙරටට එන ආයෝජනවල ප්‍රමාණයට බදු සහන දිය යුතුයි
රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම
මෙරටට පැමිණෙන ආයෝජකයන්ට සුදුසු පරිසරයක් නිර්මාණය කර දෙමින් ආයෝජනයේ ප්‍රමාණය අනුව බදු සහන ලබාදීම සිදු කළ යුතු බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසීය.
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වීමෙන් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.
රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසිය.
විපක්ෂය ප්‍රකාශ කරන පරිදි ආණ්ඩුව මඟින් අනවශ්‍ය බදු සහන කිසිවෙකුටත් ලබාදී නැහැ.
එරාවුර්වල අක්කර 200 ඉක්මවා ගිය ඇඟලුම් කර්මාන්තපුර ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කර තිබෙනවා. බදු සහන සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශ විපක්ෂය සිදු කරනවා. කවුරු හරි සුද්දෙකුට එන්න කියලා බදු සහන දෙනවා වගේ තමයි විපක්ෂය කියන්නේ. අපි ආයෝජනයේ ප්‍රමාණය අනුව තමයි බදු සහනයන් දෙන්නේ. නතර වූ ව්‍යාපෘති කිහිපයක් ද තිබෙනවා. එය නරක තත්ත්වයක්. අද මේ ගැසට් එක නිකුත් කළාට පසුව ඩොලර් මිලියන 500 ඉක්ම වූ ආයෝජනයක් එනවා නම් රෙදිපිළි අමුද්‍රව්‍ය නිෂ්පාදනයට ඇතුළු වී කටයුතු කළ හැකියි.
ජනාධිපතිවරණය පැවැත්වීම ගැන සභාව කල් තැබීමේ විවාදයක් අද පවත්වනවා
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර
නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයක් අද (11) පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊයේ (10) තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සෙසු අදාළ නීති මඟින් දක්වා ඇති විධානවලට අනුකූලව 2024 සැප්තැම්බර් 17 වැනි සිට ඔක්තෝබර් 16 වැනි දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරු ඒකාබද්ධව ගෙන එනු ලබන යෝජනාවට අනුව මෙම සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත. මේ අනුව අද වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව උදෑසන 10.30 සිට සවස 5.30 දක්වා විවාදය පැවැත්වීමට තීරණය වී තිබේ.
එසේම අද දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබූ සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
වාහන ආනයන තහනම ගැන අවසන් තීරණය ලබන මස මුලදී
රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය
රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අගෝස්තු මස දෙවැනි සතිය වන විට ගැනීමට නියමිත බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.
ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවැති විවාදයට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද පැවසීය.
ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව පසුගිය 04 වැනි දා රැස් වූ අතර එහි අවසන් වාර්තාව අගෝස්තු මස දෙවැනි සතිය වන විට කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීම සඳහා එකඟත්වය පළ කළා. ඒ අනුව එම වාර්තාව ලැබීමෙන් පසුව වාහන ආනයනය සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගන්නවා. එම වාර්තාව අනුව රටේ විනිමය තත්ත්වයට කිසිදු අනිසි බලපෑමක් ඇති නොවන පරිදි සහ ජනතා අවශ්‍යතා ප්‍රමුඛත්වය අනුව වාහන ආනයනය සිදු කිරීමට හැකි වනු ඇති බවයි.
විදුහල්පතිවරුන්ට දුරකතන-ප්‍රවාහන දීමනා දෙන්න තීරණයක් ගන්නවා
ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත
සන්නිවේදන හා ප්‍රවාහන දීමනාවන් විදුහල්පතිවරුන්ට ලබා දීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත යැයි අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසීය.
වැටුප්, දීමනා පිළිබඳව විදුහල්පතිවරුන් සිදු කරන උද්ඝෝෂණයන් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය. අධ්‍යාපන ලේකම්වරිය සහ මහා භාණ්ඩාගාරය එක්ව එම තීරණය ගන්නවා. විදුහල්පතිවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කර තිබූණා. නිරන්තරයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කර රජයේ විශ්‍රාම ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ගුණපාල නානායක්කාර මහාචාර්ය කමිටුව ස්ථාපිත කර ඒ ඔස්සේ සියලු පාර්ශ්වයන්ට අවස්ථාව ලබාදී සමස්ත විදුහල්පතිවරුන්ගේ ගැටලුවලට අදාළව වාර්තාවක් සකසා තිබෙනවා.
විදුහල්පතිවරුන්ගේ දීමනා වැඩි කිරිමේ යෝජනාවක් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. කමිටුව ඔස්සේ සෙසු දීමනා සමඟ සසඳා බලා විසඳුමක් ලබා දෙනවා.
පාසල් පද්ධතිය තුළ විදුහල්පතිවරුන් 16,000ක් සිටිය යුතු වුවද, මා ඇමැති ධුරය භාර ගන්නා විට 9000ක විදුහල්පතිවරුන් පිරිසක් පමණක් සිටියා. ඇමැති ධුරය භාර ගත් පසුව 4000කට වැඩි පිරිසකට විදුහල්පති පත්වීම් ලබාදී පාසල් පවත්වා ගෙන යෑමට පියවර ගත්තා.
මැනිං වෙළෙඳ පොළ පැවති ස්ථානය වාහන ගාල් කරන්න දී ඇත්තේ ලක්ෂ 25කට
මන්ත්‍රී මුජිබර් රහුමාන්
පිටකොටුවේ චාමර්ස් පෙදෙසේ ඉඩමක් වාහන ගාල් කිරීම සඳහා රුපියල් ලක්ෂ හැත්තෑ පහක මාසික කුලී පදනම මත ලබා දී තිබියදී මැනිං වෙළෙඳ පොළ පැවති ස්ථානයේ ඒ සමාන ඉඩමක් ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ විසිපහකට බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) ප්‍රකාශ කළේය.
නාගරික සංවර්ධන අධිකාරියේ කටයුතු සම්බන්ධයෙන් නිවාස හා නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග කරුණු දක්වමින් සිටින අවස්ථාවේදී නැඟී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමාන් මහතා මෙසේද පැවසීය.
ශාන්ත අන්තෝනි පාර, කොළඹ 3 යන ලිපිනයැති ආයතනයකින් මෙම ඉඩම ලබා ගෙන ඇති බවත් එවැනි ආයතනයක් එම ලිපිනයේ නැහැ. මේ ඉඩම් ලබා දී තියෙන්නෙ කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරවයි. මෙම ස්ථානයේ ඇති ඉංග්‍රීසි යුගයට අයත් ගල් ඉවත් කර ගැනීමටත් ව්‍යාපාරිකයාට අවස්ථාව දී තිබෙනවා. ඒ ගලක වටිනාකම ලෙස තක්සේරු කර තියෙන්නෙ රුපියල් එකසිය අසූවක්. නමුත් ඒ ගලක් රුපියල් හත්සිය පනහක් පමණ වෙනවා. ගල් එක්ලක්ෂ පනස් දහසක් පමණ තියෙනවා. මේක විශාල වංචාවක්.
ඇමැති ප්‍රසන්න රණතුංග මහතා – ඉවත් කරන්න වෙන්නේ ගල් තිස් දහසක පමණ ප්‍රමාණයක්. ඒ ගලක් තක්සේරු කරලා තියෙන්නෙ රුපියල් 92ක් වැනි මුදලකට. මේ ගැන මට හොයලා බලන්න පුළුවන්. මේ ඉඩම් සත පහක්වත් ආදායමක් නොමැතිව තිබූණ ඒවා. විවිධ කටයුතු සඳහා ඉඩම් නොමිලේ දෙන එක අපි නතර කළා.