අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින කිසිදු සැකකරුවකු සතුව හෙරොයින්, ගංජා හෝ වෙනත් කිසිදු මත්ද්‍රව්‍ය නොමැති බව අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මහතා පවසයි.
බන්ධනාගාර අධිකාරිවරයා මෙසේ ප්‍රකාශ කළේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකු සතුව තිබියදී දුම්කොළ තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ දුම්කොළ බන්ධනාගාරය තුළට රැගෙන ඒමේ සිද්ධියට බන්ධනාගාර ජේලර්වරයකු සම්බන්ධ බවට අනුරාධපුර බන්ධනාගාරයේම ඇතැම් නිලධාරීහු එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් කළ විමසුමකට ප්‍රතිචාර දක්වමිනි. බන්ධනාගාර අධිකාරිවරයා තවදුරටත් සඳහන් කළේ විවිධ පුද්ගලයන් තමන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා සහ පළි ගැනීමේ චේතනාවෙන් විවිධ තරාතිරම්වල නිලධාරීන්ට පදනම් විරහිතව චෝදනා එල්ල කරන බවයි.
බන්ධනාගාරය තුළ දී දුම්කොළ හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බව අවධාරණය කළ අධිකාරිවරයා එකී විමර්ශනය අවසානයේ දුම්කොළ රැගෙන ඒමේ සිද්ධියට බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධ දැයි සැක හැර දැන ගත හැකි බව ද කීවේය. එමෙන්ම එතෙක් කිසිවකුට චෝදනා එල්ල කළ නොහැකි බවත්, අනුරාධපුර බන්ධනාගාරයට පැමිණෙන සියලු පිටස්තර පුද්ගලයන් සහ බන්ධනාගර රැඳවියන් දෛනිකව දැඩි පරීක්ෂාවට ලක් කරන බවත් මෙහිදී සඳහන් කෙරිණි.
බන්ධනාගාරයේ විදුලි බිල්පත් ගෙවීමේදී සහ බන්ධනාගාර ක්‍රීඩාංගණය නඩත්තු කිරීමේදී ද ජේලර්වරයකු උපක්රමශීලීව මූල්‍යමය වංචාවන් සිදු කරන බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් විමසූ විට අධිකාරි මොහාන් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ එම චෝදනාව ද විවිධ පුද්ගලයන්ගේ පටු අරමුණු වෙනුවෙන් එල්ල කරන ඒවා බවයි. අනුරාධපුර බන්ධනාගාරයට මීට පෙර මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි රැඳවියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවද හෙතෙම තවදුරටත් පැවැසීය.