වයස අවුරුදු 8, 6 හා 4 යන වයස්වල පසුවන තම පුතුන් දෙදෙනා සහ දියණිය හැටන් පොලිසියේ කාන්තා කාර්යාංශය වෙත භාර දී දුම්රියට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ තිදරු මවක පොලිස් භාරයට ගෙන දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට හැටන් පොලිසියේ කාන්තා කාර්යාංශයේ නිලධාරීහු පෙරේදා (9) කටයුතු කළහ.
හැටන්, දික්ඔය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තිදරු මවක පෙරේදා (9) පස්වරුවේ හැටන් පොලිසිය වෙත පැමිණ තම සැමියා සමඟ ජීවත් වීමට නොහැකි බවත්, ඒ අනුව තම දරුවන් තිදෙනා පොලිස් භාරයට ගන්නා ලෙසත් පවසා හැටන් පොලිසියේ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් වෙත බැණ වැදී දරුවන් තිදෙනා පොලිසියේ රඳවා පසුව ඇය දුම්රිය ස්ථානය වෙත ගමන් කිරීමට උත්සාහ කිරීමේදී කාන්තා පොලිස් නිලධාරිනියන් එම තිදරු මව පොලිස් භාරයට ගෙන දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර, දරුවන් තිදෙනා පියා වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
මානසික ආතතියකින් පෙළෙන එම තිදරු මව (28) නිරන්තරයෙන් සැමියා සමඟ ආරවුල් ඇති කර ගන්නා බවත්, සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන අයකු බවත් පොලිසිය පවසයි. මානසික ආතතියකින් පෙළෙන බිරිය තමන්ට පාලනය කරගත නොහැකි බවත් ඇය රෝහල්ගත කර වෛද්‍ය ප්‍රතිකාර කිරීමට කටයුතු කරන ලෙසත් සැමියා (40) පොලිසියෙන් කළ ඉල්ලීමක් මත තිදරු මව දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යාම ප්‍රතික්ෂේප කළ තිදරු මව පොලිස් නිලධාරිනියන් සමඟ නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරිනියන් හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතාගේ උපදෙස් මත ඇයව රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කර තිබේ.