වරකාපොළ, ගොඩවෙල ප්රදේශයේ යුවළක් දානමය පින්කමකට ගිය අවස්ථාවේදී ඔවුන්ගේ නිවෙස බිඳ රන් භාණ්ඩ සොරකම් කරගෙන ගොස් ඇතැයි වරකාපොළ පොලිසිය පවසයි.
මෙම යුවළ ඉකුත් 6 වැනිදා සවස ඥාති නිවෙසක පැවැති දානමය පින්කමකට තම නිවෙස වසා දමා ගොස් ඇති අතර, ඉකුත් 7 වැනිදා සවස පින්කම අවසන් වී යළි නිවෙසට පැමිණ තිබේ. නිවෙසට පැමිණීමෙන් පසුව තම නිවෙස බිඳ ඇති බව නොදැන රන් භාණ්ඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් වරකාපොළ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. අනතුරුව වරකාපොළ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සමරනායක මහතාගේ උපදෙස් පරිදි කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති, ප්රධාන පොලිස් පරීක්ෂක තිවංක දෙහිමඩුගේ ඇතුළු නිලධාරින් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇත. සොරුන් නිවෙසට ඇතුළු වී ඇති ආකාරය සොයා ගැනීමට කාලයක් ගත වූ බවත්, නිවෙසේ පිටුපස දොරට ඇතුළතින් දමා තිබුණු දොර පොල්ල කම්බි කූරක් දමා ගලවා බිමට දමා ඇති බව පසුව අනාවරණය වූ බවත් පොලිසිය කීය.
නිවෙසේ අල්මාරියේ තිබූ රු. ලක්ෂ 10ක් වටිනා මාල දෙකක්, වළලු ජෝඩුවක්, කරාබු ජෝඩුවක් හා මාල පෙත්තක් රැගෙන ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නොමැත.