ඇල්ල ප්‍රදේශයට පැමිණ සිටි ෆින්ලන්ත ජාතික 26 හැවිරිදි තරුණියකට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැගුම්හල් හිමිකරුවකු වන සංචාරක මඟපෙන්වන්නෙකු ඉකුත් 08 වැනිදා වැල්ලවාය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
26 හැවිරිදි ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර පදිංචි මෙම තරුණිය ජූලි මස 04 වැනිදා ඇල්ල ප්‍රදේශයට සංචාරය කිරීම සඳහා පැමිණ තිබේ. එහි සිටියදී අන්තර්ජාලය මඟින් වැල්ලවාය ප්‍රදේශයේ සෙල්ලබා, 11 පාර යාලබෝව පදිංචි සංචාරක මඟපෙන්වන්නෙකු වන “බිංදු” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සංචාරක මඟපෙන්වන්නාට අයත් ‘බිංදු හෝම්ස් ඩේ’ නවාතැන්පොළෙන් කාමරයක් වෙන් කරවාගෙන ඇත.
අනතුරුව සංචාරක මඟපෙන්වන්නා විසින් ඇයව මෝටර් රථයකින් වැල්ලවායට කැඳවාගෙන යනු ලැබ තිබේ. අනතුරුව, ඇය ඔහු සමඟ එම ප්‍රදේශයේ සංචාරය කොට රාත්‍රී නවාතැන් පොළට පැමිණ ඇත. රාත්‍රී 9.00ට පමණ සැකකරු සමඟ ඇය බියර් සහ අරක්කු පානය කර තිබේ.
අනතුරුව ශරීරය මසාජ් කිරීම සඳහා තෙල් බෝතල් තුනක් රැඟන පැමිණි සැකකරු ඇයව මසාජ් කිරීමට යැයි පවසා දූෂණයට ලක්කර ඇත.අනතුරුව අතවරයට පත්වූ ෆින්ලන්ත තරුණිය කිසිවක් කරකියාගත නොහැකිව සිටියදී ලැගුම්හල් හිමිකරුගේ බිරිය පැමිණ ඇයට සහ සැකකරුට කොස්සකින් පහරදී ආරවුලක් ඇති කරගෙන තිබේ. ආරවුල පිළිබඳව පොලිසිය දැනගැනීමෙන් පසුව පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂණ පවත්වන අතරතුරදී ෆින්ලන්ත තරුණිය ඇයට වූ අතවරය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත. සිද්ධියට සම්බන්ධ 41 හැවිරිදි සැකකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අතවරයට පත්වූ ෆින්ලන්ත තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත්කර ඇත.