ලංකා ප්‍රිමියර් ලීග් තරග බිමේ වේගවත්ම ශතකය රැස් කිරීමේ වාර්තාව ඊයේ (10) තම නමට ලියාගත් ජැෆ්නා කිංග්ස් පිල නියෝජනය කරන දකුණු අප්‍රිකානු ක්‍රීඩක රිලී රොසෝව් සිය කණ්ඩායම කඩුලු 7ක ජයක් කරා ගෙන ගියේය.
එල්පීඑල් තරගාවලියේ 13 වැනි තරගය ලෙස ඊයේ පස්වරුවේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ජැෆ්නා පිල හමුවේ කලම්බු ස්ට්‍රයිකර්ස් පිල පරාජය වූ අතර, මේ ජය සමඟ තවදුරටත් පෙරමුණ රැක ගැනීමට ජැෆ්නා පිලට හැකි විය.
තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් කලම්බු පිල දුන් ලකුණු 189ක ඉලක්කය හඹා ගිය ජැෆ්නා ක්‍රීඩකයෝ ඕවර 18.3කදී ජයග්‍රාහී ඉලක්කය පසු

රිලී
රොසෝව්
කළේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනි.
මෙවර තරගාවලියේ වාර්තාගත ශතකයකට හිමිකම් කියන ජැෆ්නා ආරම්භක පිතිකරුවකු වන පැතුම් නිශ්ශංක (තරගාවලියේ ඉහළම ඉනිම – 119) සහ කුසල් මෙන්ඩිස් පිළිවෙළින් ලකුණු 6ක් සහ 5ක් තුළ දැවී ගිය අතර, ඉන් අනතුරුව ඉනිමේ බර කරට ගත් රිලී රොසෝව් පන්දු 50කදී නොදැවී ලකුණු 108ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. හතරේ පහර 12කින් සහ හයේ පහර 6කින් ඉනිම වර්ණවත් කරගත් ඔහු සිය ශතකය සම්පූර්ණ කළේ පන්දු 44කිනි. එය එල්පීඑල් තරග බිමේ වේගවත්ම ශතකය ලෙස වාර්තා පොත අලුත් කළේ සිය කණ්ඩායමට එරෙහිව දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා මෙවර තරගාවලියේ සිව්වැනි තරගයේදී පන්දු 50කින් වාර්තා කළ එල්පීඑල් වේගවත්ම ශතකයේ වාර්තාව මකා දමමිනි.
එල්පීඑල් ඉතිහාසයේ වාර්තා වූ 8 වැනි ශතකය මෙය වන අතර, මෙවර තරගාවලියේ වාර්තාව වූ සිව්වැනි ශතකයයි.
රොසෝව් සහ අවිශ්ක ප්‍රනාන්දු සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 120ක සබඳතාවක් ගොඩනැඟීමට ද සමත් විය. පන්දු 35කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 58ක් රැස් කළ අවිශ්ක දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. එල්පීඑල් තරග බිමේ වැඩිම අර්ධ ශතකලාභියා වන අවිශ්ක ඊයේ රැස් කළේ 14 වැනි එල්පීඑල් අර්ධ ශතකය මෙන්ම මෙවර තරගාවලියේ සිව්වැනි අර්ධ ශතකයයි.
පළමුව පන්දුවට පහරදුන් කලම්බු ඉනිමේදී ග්ලේන් පිලිප්ස් පන්දු 32කින් ලකුණු 58ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, ඇන්ජලෝ පෙරේරා ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වන විට ලකුණු 34ක් රැස් කර තිබිණි. රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 11කින් ලකුණු 27ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී අස්මතුල්ලාහ් ඔමර්සායි සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත්හ.
කලම්බු ස්ට්‍රයිකර්ස් – 188/8 (ඕවර 20) ග්ලේන් පිලිප්ස් 58, ඇන්ජලෝ පෙරේරා 34, රහ්මනුල්ලාහ් ගුර්බාස් 27 (අස්මතුල්ලාහ් ඔමර්සායි 31/2, අසිත ප්‍රනාන්දු 38/2)
ජැෆ්නා කිංග්ස් – 190/3 (ඕවර 20) රිලී රොසෝව් නොදැවී 108, අවිශ්ක ප්‍රනාන්දු 58.