මේ දිනවල බොහෝ දෙනා දැනගැනීමට කැමැත්තක් දක්වන මාතෘකා කිහිපයක්ම, ලෝකයේ පුවත් මාධ්‍යයන් අතර කතාබහට ලක්වෙමින් පවතී. ඉන් මාතෘකා දෙකක් ඊශ්‍රායලය හා රුසියාවේ යුද මාතෘකාය. එයින් එක හා සමානව ඒ පුවත් සම්බන්ධයෙන් කතාබහට ලක් වූ සිදුවීම් දෙකක් තිබිණි. ඉන් එකක් ඊශ්‍රායලය විසින් ගාසා තීරයට නොනවත්වා එල්ල කරන ප්රහාරයන් පිළිබඳවය. අනෙක රුසියාව විසින් යුක්රේනයේ ළමා රෝහලකට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙනි. මෙම ළමා රෝහල යුක්රේන හමුදා රෝහලක් අසල පිහිටා ඇති අතර, මෙම ප්‍රහාරය සඳහා මිසයිල 40ක් යොදාගෙන තිබිණි. මෙම ප්‍රහාරයෙන් පසු ඉන්දීය අගමැතිවරයා රුසියාවේ සංචාරයක නිරත වීම ද ලෝක පුවත් අතර කතාබහට ලක්වන්නට විය.
එමෙන්ම ප්‍රංශ මැතිවරණය මෙන්ම බ්‍රිතාන්‍ය මැතිවරණය ද ඒ අයුරින්ම කතාබහට ලක් වූ පුවත් විය. ප්‍රංශ මැතිවරණයේ පළමු වටයේදී මරින් ලු පෙන්ගේ අන්ත දක්ෂිණාංශික පක්ෂය පළමු වටයේ ජයග්‍රහණය ලබමින් ඉදිරියෙන් සිටිය ද එය දෙවැනි වටයේදී වෙනස් විණි. මේ අතර බ්‍රිතාන්‍ය මැතිවරණයට ද වැඩි ඉඩක් ලබා දෙමින් තිබිණි.
එහෙත් මේ අතර BBC, CNN, The Guardian, NDTV, Renters ඇතුළු බොහෝ පුවත් ජාලයන් ඉරානයේ නව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් යම් වෙනස්ම වූ අදහස් ගෙනහැර පාන්නට විය. පසුගියදා ඉරානයේ ජනාධිපතිවරයා ගුවන් අනතුරකින් මිය යෑමෙන් පසු, නව ජනාධිපතිවරයා බවට පත් වූයේ Masoud Pezeshkian ය. මිය ගිය ජනපතිවරයා දැඩි මතධාරී, බටහිර විරෝධී ජනාධිපතිවරයකු වූ මුත් නව ජනාධිපතිවරයා එයින් වෙනස් වූවෙක් විය. Masoud ප්රතිසංස්කරණවාදී ජනාධිපතිවරයෙක් විය. ඔහු සම්බන්ධයෙන් කතාබහක් ඇතිවීමට මූලික හේතුව වූයේද එයයි.
ජනාධිපතිවරණය
Masoud Pezeshkian ඉරානයේ ජනාධිපතිවරයා බවට පත්වූයේ සයීඩ් ජලීලි පරාජයට පත් කරමිනි. ඔහු ජයග්‍රහණය කරනු ලැබුවේ 53.3%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් වූ අතර, තම ප්‍රතිවාදියා වූ සයීඩ්ට ලබා ගැනීමට හැකි වූයේ 44.3%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
මෙම මැතිවරණයේදී දෙවන වටයක් පවත්වන්නට ද සිදු වූයේ මැතිවරණයේ පළමු වටයේදී කිසිවෙකුටත් බහුතර ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ නිසාවෙනි. සයීඩ් දැඩි මතධාරී දේශපාලනයක නිරත වූවෙකි. Pezeshkian ජනපති ව්‍යාපාරය සඳහා සූදානම් වූයේ මැයි මාසයේදී Ebrahim Raisi ගුවන් අනතුරින් මිය යෑමෙන් පසුවය. මැතිවරණ ව්‍යාපාරය සඳහා ඔහු යොදාගත්තේ යැයි සැලකෙන්නේ 2013 වර්ෂයේදී Hassan Ronhani ගේ උපාය මාර්ගයට සමාන උපායමාර්ගයකි. ඔහු තම මැතිවරණ කටයුතුවලදී අදහස් ප්‍රකාශ කළ අයුරු BBC පුවත් සේවයේ සඳහන් කර ඇත්තේ මෙසේය.
‘ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ තමාගේ විදේශ ප්‍රතිපත්ති බටහිර විරෝධී හෝ නැඟෙනහිර විරෝධී නොවන බවයි. රුසියාව හා චීනය වෙත ඉරානය සමීප කරවීම සඳහා හිටපු ජනපතිවරයා ගෙන තිබූ ප්‍රතිපත්ති විවේචනය කළ ඔහු ආර්ථික අර්බුදය සහ න්‍යෂ්ටික අර්බුදය අවසන් කිරීම වෙනුවෙන් ඇති එකම මාර්ගය ලෙසින් සඳහන් කරනු ලැබුවේ සම්බාධක ලිහිල් කිරීම වෙනුවෙන් බටහිර සමඟ සාකච්ඡා කිරීම කළ යුතුය යන්නයි. කෙසේ වෙතත් අයතුල්ලා අල් කමේනි මෙම අදහස් විවේචනයට ලක් කරමින් ප්‍රකාශ කර සිටියේ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වූයේ ඉරානය නොව අමෙරිකා එක්සත් ජනපදය බවත් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමෙන් මිත්‍රශීලි සබඳතා පවත්වා ගැනීම් තුළ සෞභාග්‍යය ළඟා කර ගත නොහැකි බවයි.’
Masoud Pezeshkian
Pezeshkian 1954 සැප්තැම්බර් 29 වැනිදා උපත ලැබුවේ බටහිර අසර්බයිජානයේ මහබාද්හීය. ඔහුගේ පියා ඉරාන, අසර්බයිජාන ජාතිකයකු වූ අතර, මව කුර්දි ජාතික කාන්තාවක් වූවාය. 1973 වසරේදී ඩිප්ලෝමාවක් ලබා ගත් Pezeshkian වෛද්‍ය විද්‍යාව කෙරෙහි උනන්දුවක් ඇති කර ගනු ලැබුවේ මේ සමයේදීය. ඉන්පසු වෛද්‍ය උපාධියක් ලබා ගැනීමේ අරමුණින් ඔහු වෛද්‍ය විද්‍යාලයට ඇතුළු විය. ඉරාන ඉරාක යුද සමයේදී ඔහු යුද පෙරමුණේ ඉදිරි පෙළ වෛද්‍ය කණ්ඩායම් සමඟ සටන්කරුවකු ලෙස ද කටයුතු කරන්නට විය.
1985 වසරේදී සාමාන්‍ය වෛද්‍ය පාඨමාලාව අවසන් කළ Pezeshkian වෛද්‍ය විද්‍යාලයේ කායික විද්‍යාව ඉගැන්වීම ආරම්භ කළේය. ඉන් අනතුරුව Tabriz වෛද්‍ය විද්‍යාලයේ සාමාන්‍ය ශල්‍යකර්ම සඳහා අධ්‍යයන කටයුතු කරගෙන ගිය අතර 1993 වසරේදී ඉරාන වෛද්‍ය විද්‍යා විශ්වවිද්‍යාලයෙන් හෘද සැත්කම් පිළිබඳව අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසුව හෘද සැත්කම් පිළිබඳ විශේෂඥයකු බවට පත් විය. 1994 සිට වසර පහක් ඔහු Tabriz වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සභාපති නිලය ද දැරීය.
දේශපාලනයට පිවිසීම
විශේෂඥ වෛද්‍යවරයකු වූ Pezeshkian ගේ දේශපාලන ජීවිතය ආරම්භ වූයේ 1997දීය. ඒ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසිනි. ඉන්පසු වසර 4ක් අවසානයේ ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා බවට පත්විය. 2016 – 2020 අතර කාලයේදී ඔහු පාර්ලිමේන්තුවේ පළමු නියෝජ්‍ය කථානායකවරයා ලෙස සේවය කරන්නට විය. ඔහු දේශපාලනයට අවතීර්ණ වීමේදී තමාගේ දේශපාලන ජීවිතය තුළ ජනාධිපතිවරයාගේ ආසනය මත වාඩි විය යුතුය යන අදහසක් නොතිබුණා වන්නට පිළිවන. එහෙත් වර්තමානය ගොඩනැඟී තිබුණේ ඔහු එම තනතුරට සුදුස්සා බවට පත් කරමිනි. සයීඩ් ජලීලි ඡන්ද මිලියන 13.5ක් ලබා ගත්තද එය පරයා Masoud Pezeshkian ඡන්ද මිලියන 16.3ක් පමණ ලබා ගනිමින් ජයග්‍රහණය කරන්නට සමත් විය. ඔහු 2024 අගෝස්තු මාසයේදී ජනාධිපති ධුරයට පත්වීමට නියමිතය.
වසර 20කට ආසන්න කාලයක් පුරා ඉරානයේ පැවතියේ දැඩි මතධාරී පාලන ක්රමයකි. එහෙත් එය අවසන් වූයේ රයිසි ජනාධිපතිවරයා හදිසි අනතුරකින් මිය යාම සහ Masoud Pezeshkianගේ මැතිවරණ ජයග්‍රහණයත් සමඟිනි. මේ ආකාරයේ සිදුවීමක් ඉරානයේ කිසිවකුත් බලාපොරොත්තු වූයේ නැත. ප්‍රතිසංස්කරණවාදීන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී පවා ඔවුන්ට බොහෝ සෙයින් ගැටලුවලට මුහුණ දීමට සිදු විය. මන්ද ඉරාන ව්‍යවස්ථාවට අනුව තරග කිරීමට ඉදිරිපත් වන සියලුම ජනපති අපේක්ෂකයන් එරට භාරකාර කවුන්සිලයේ පරීක්ෂාවට ලක්වන හෙයිනි. මීට පෙර පැවති මැතිවරණ තුනකදීද ප්‍රතිසංස්කරණවාදීන්ට අසාධාරණයක් සිදු වූ බව ඔවුන් ප්‍රකාශ කරයි. එහිදී ඔවුන්ගේ ඉහළ පෙළේ අපේක්ෂකයන් බහුතරයක් දෙනා භාරකාර කවුන්සිලය මඟින් මැතිවරණයට සුදුසුකම් නොමැති අය ලෙසින් සැලකූහ.
ප්‍රතිසංස්කරණවාදීන්ගේ පරාජයන්
එහෙයින් තම පක්ෂයේ ඉමහත් ජනප්‍රියත්වයක් නොමැති ප්‍රසිද්ධියක් නොලැබූ අය මැතිවරණයට ඉදිරිපත් කරන්නට ප්‍රතිසංස්කරණවාදීන්ට සිදු විය. මේ ආකාරයේ කටයුතුවලට ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවූ අතර, ප්‍රතිසංස්කරණවාදීන්ට මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට නොහැකි වූයේ එනිසාය. මෙවර මැතිවරණය පැවතියද පෙර සේම ඉරාන ජනයා බලාපොරොත්තු වූයේ රයිසි මෙන්ම නායකයකු නැවත වරක් ජනපතිවරයකු වේය යන්නයි. Pezeshkian මැතිවරණයට ඉදිරිපත් වීමේදී ඉරාන දේශපාලන විචාරකයන් විසින් ප්‍රකාශ කර සිටියේ ඔහුට ජයග්‍රහණය කිරීමට ඇති අවස්ථාව ඉතා අල්ප බවය. එහෙත් අවසානයේදී 69 හැවිරිදි Pezeshkian තම ජයග්‍රහණය කරා යෑමට සමත් විය.
කොයිහැටි වෙතත් CNBC පුවත් සේවයට දේශපාලන විචාරකයකු ප්‍රකාශ කර සිටියේ ජනපතිවරයාට දැඩි මතධාරින්ගෙන් බාහිර බලපෑම් එල්ල විය හැකි බවයි.