වසර 41කට පසු ඉන්දීය අගමැතිවරයකු ඔස්ට්‍රියාවේ සංචාරය කළ පළමු අවස්ථාව සටහන් කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පසුගිය ඔස්ට්‍රියානු සංචාරයෙන් පසු එරට ව්‍යාපාරික සමාගම් රැසක් ඉන්දියාවේ ආයෝජන කටයුතු සිදු කිරීමට එකඟතාව පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සංචාරය අතරතුරදී ඉන්දීය අගමැතිවරයා ඔස්ට්‍රියානු චාන්ස්ලර් කාල් නෙහම්මර් සමඟ එක්ව නව ආර්ථික අවස්ථාවන් ගවේෂණය කිරීමට හා ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරිමට දෙරටේ ව්‍යාපාරිකයන් 40 දෙනකු මුණගැසී සාකච්ඡා කර ඇතැයි ද වාර්තා වේ. එරට ව්‍යාපාරික සමාගම් ඉන්දියාවේ ආයෝජන කටයුතු සිදු කිරීමට අවධානය යොමු කර ඇත්තේ ඉන්දීය අගමැතිවරයාගේ ඇරියුමකට බව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ඉදිරියේදී ඉන්දියාවේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඔස්ට්‍රියානු ව්‍යාපාරික සමාගම් එරටට පැමිණෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. පසුගිය වසරේ ජනවාරියේ සිට දෙසැම්බරය දක්වා ඉන්දියාව සහ ඔස්ට්‍රියාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා අමෙරිකානු ඩොලර් බිලියන 2.93ක ඉක්මවා ගිය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.