ලෝක ධනවතුන් අතර 11 වැනි ස්ථානයේ පසුවන ඉන්දියාවේ ලොකුම ධනවතා මුකේෂ් අම්බානිගේ බාල පුතු අනන්ට් අම්බානිගේ විවාහ උත්සවය ඊයේ මුම්බායි නුවර ජියෝ වර්ල්ඩ් සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. අමුත්තන් 16,000කට ඉඩ ඇති එම සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන අම්බානි පවුලේ සුපිරි විවාහය ලොව විශාලතම විවාහ උත්සවය බවට පත්වනු ඇතැයි ද එරට මාධ්‍ය අනාවැකි පළ කර ඇතැයි වාර්තා වේ. ඉන්දියාවේ ඖෂධ සමාගම් හිමිකරුවකු වන විරේන් මර්චන්ට්ගේ දියණියක වන රාධිකා සහ අනන්ට් අම්බානිගේ තුන්දින විවාහ උත්සවය හෙට (14) මැදියම් රැය දක්වා පැවැත්වෙන බවත්, ඒ සඳහා ලෝක ප්‍රකට පුද්ගලයන් රැසක් සහභාගි වන බවත් වැඩිදුරටත් වාර්තා වේ.
මීට මාස තුනකට පෙර නව යුවළගේ පෙර මඟුල් උත්සවය ගුජරාට් ප්‍රාන්තයේ පැවැති අතර, ඊයේ ආරම්භ වූයේ ඔවුන්ගේ නිල විවාහ උත්සවය බව ද සඳහන් වේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු රජයේ මැතිඇමැතිවරු, ප්‍රාන්ත මහඇමැතිවරු සමඟ බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු නිළියන් සහභාගි වන අම්බානි පවුලේ විවාහ උත්සවයට බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරුන් වන බොරිස් ජොන්සන් සහ ටෝනි බ්ලෙයාර්, අමෙරිකාවේ හිටපු ජනාධිපති ආර්යාව හා රාජ්‍ය ලේකම්වරිය හිලරි ක්ලින්ටන්, අමෙරිකාවේ සුප්‍රකට නිළියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට කිම් කාඩිෂන්, හිටපු හෙවිවේට් බොක්සිං ශූරයා මයික් ටයිසන්, මල්ලවපොර ශූර ජොන් සිනා, බ්‍රිතාන්‍යයේ හිටපු සුපිරි පාපන්දු තරුව ඩේවිඩ් බෙකම් සහ ලෝක ප්‍රකට බටහිර ගායිකා අඩේල් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් රැසක් සහභාගි වන බව වාර්තා වේ. අමුත්තන් සඳහා විවාහ උත්සවයට සහභාගි වීමට මුකේෂ් අම්බානි ගුවන් යානා 100ක් කුලියට ගෙන ඇතැයි ද වාර්තා වේ.