යාපනයේ ඌර්කාවතුරේ ශ්‍රී විනයාගර් කෝවිලේ තැන්පත් කොට තිබූ රන් පවුම් 64ක් හා රුපියල් ලක්ෂ අටක මුදලක් කිසියම් පිරිසක් විසින් කොල්ලකා ඇති බවට ඌර්කාවතුරේ පොලිසියට පෙරේදා (11) පැමිණිලි කොට තිබේ.
මෙම කෝවිලේ අගුලු දමා තිබූ දොරවල් තුනටම හොර යතුරු කපන ලද සංවිධානාත්මක පිරිසක් විසින් කෝවිලේ ඉතා සුරක්ෂිතව තැන්පත් කොට තිබූ රන් පවුම් හා මුදල් කොල්ලකා ඇති බව කෝවිලේ භාරකාර පූසාරිවරයා පොලිසියට ප්‍රකාශ කොට තිබේ.
කෝවිලේ වාර්ෂික මංගල්ලයෙන් ලද ආදායම බැංකුවේ තැන්පත් කරන තෙක් කෝවිලේ තැන්පත් කොට තිබිය දී කොල්ලකා ඇති බවත් කොල්ලකන ලද රන් පවුම්වල වටිනාකම රුපියල් ලක්ෂ අනූවක් පමණ වන බවත් පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.
මෙම පැමිණිල්ලෙන් පසුව ඌර්කාවතුරේ පොලිසිය කෝවිල අවට නිවාසවල හා වෙළෙඳසල්වල පිහිටි සී.සී.ටී.වී. කැමරා පද්ධතිවල දර්ශන නැරඹීමට පටන් ගෙන ඇති අතර මෙම මංකොල්ලය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදු කරගෙන යයි.