ඔස්ට්‍රේලියාවේ හෙද සේවයට යවන බව පවසා කරාපිටිය රෝහලේ හෙදියකගෙන් රුපියල් තිස් අට ලක්ෂ අනූඑක්දහස් පන්සීයක් වංචාකරන ලද අනුරාධපුර මහ රෝහලේ හිටපු හෙදියක් 18 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ තේනුවර ආරච්චිලාගේ යමුනා නිමන්ති ගුණරත්න නමැති හෙදියකි.
පැමිණිලිකාර කරාපිටිය රෝහලේ හෙදිය විදෙස් ගතවීමේ බලාපොරොත්තුවෙන් සිටින විට විදෙස් පුහුණුවට හෙදියන් යවන බවට සමාජ මාධ්‍යයේ පළවී තිබූ දැන්වීමක තිබු දුරකතන අංකයකට ඇමතූවිට සැකකාර හෙදිය කතාකර තමා දන්නා ඒජන්සියක් තිබෙන බවත් ඔස්ට්‍රේලියාවේ හෙද සේවයට යැවිය හැකි බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ දහහතරක් අවශ්‍ය බවත් පවසා ඇත. ඒ අනුව කරාපිටියේ හෙදිය සැකකාරිය දුන් ගිණුම් අංකයකට රුපියල් ලක්ෂ දහ හතරක් ගිණුම්ගත කර ඇත. එයට ටික දිනකට පසු නැවත කතාකර ඇති පුද්ගලයෙකු සියල්ල සූදානම් බවත් වීසා ඇතුළු අනෙක් කටයුතු සඳහා තවත් රුපියල් විසි හතර ලක්ෂ අනූඑක්දහස් පන්සීයක් ගිණුම් ගත කරණ ලෙසත් පවසා වෙනත් ගිණුම් අංකයක් දී ඇත. පැමිණිලිකාර හෙදිය එම මුදලද ගිණුම්ගත කර ඇත.
එම ආයතනය මඟින් ඔස්ට්‍රේලියාවේ හෙද සේවයට යවන බව පවසා විවිධ ප්‍රදේශවල හෙදියන් කිහිප දෙනෙකුගෙන්ද මුදල් ලබාගෙන ඇති අතර එම පිරිස අන්තර් ජාලය ඔස්සේ කණ්ඩායමක් ලෙස එක්ව ඇති අතර කරාපිටිය රෝහලේ හෙදිය විදෙස්ගත වීමේ බලාපොරොත්තුවෙන් රැකියාවෙන්ද ඉවත්ව ඇත.
එහෙත් බලාපොරොත්තු වූ ලෙස ඔස්ට්‍රේලියාවට යැවීමට කටයුතු නොකළ නිසා කරාපිටියේ හෙදිය අනුරාධපුරයට ගොස් සැකකාර හෙදිය හමුවී ඔස්ට්‍රේලියාවේ රැකියාව අනවශ්‍ය බව කියා මුදල් ඉල්ලා ඇත. එවිට මුදල් දෙන බව පවසා සැකකාරිය නීතිඥවරයෙකු ඉදිරියේ ගිවිසුමක් අත්සන් කරදී ඇතත් මාස ගණනක් යනතුරුත් මුදල් නොදීම නිසා කරාපිටියේ හෙදිය ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කැලුම් තිලකරත්න මහතාගේ උපදෙස් පරිදි සැකකාර හෙදිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර ඇත.