අනුරාධපුර පොලිස් වසමේ නෙළුම්කුලම ප්රදේශයේ නිවසක ඇති කරනු ලබන කිරි ගවයින් රැක බලා ගැනීම සඳහා, කුලී පදනම මත සේවය කරමින් සිටි යුවළක් එම නිවසේ තිබූ රුපියල් ලක්ෂ 8ට ආසන්න මුදල්, රන් භාණ්ඩ, යතුරුපැදියක් සොරකම් කර රැගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
එම නිවසේ පදිංචිව සිටි බිරිය සහ සැමියා කුරුණෑගල ප්රදේශයේ විදේශ රැකියා ආයතනයක රැකියාව සිදු කරන අතර වාරයේ කිරි ගව පාලනය සිදු කරන බවත් නිවාඩුවට පැමිණ සිටි අවස්ථාවේදී මෙම සොරකම සිදුව ඇති බව පොලිසිය පවසයි.
සැකකරු හා සැකකාරිය එම ගවයන් ගාල් කරන වත්තේ ඇති නිවසක නැවතී සිටීමට සලස්වා, ගවයින්ගේ කිරි රැගෙන යාම සඳහා යතුරුපැදියක්ද ලබා දී තිබූ බව පැමිණිල්ලේ සඳහන් වේ.
ඉකුත්දා එම සැකකරුගේ පාදයක ඇතිවූ තුවාලයක් හේතුවෙන් එයට ප්රතිකාර ලබා ගැනීමට යාම සඳහා සැකකරු සහ සැකකාරිය නිවැසියන් විසින් තම නිෙවසට කැඳවා සාලයේ නිදා ගැනීමට සලස්වා ඇති බවද පැවසේ.
අනතුරුව පසුදා උදෑසන නිවෙස් හිමි කාන්තාව සහ ඇගේ සැමියා ඇහැරී බලන අවස්ථාවේ සැකකාර යුවළ සාලයේ නොමැති බවත්, නිවසේ පිටුපස දොර ඇර දමා තිබෙන අයුරු දැක, නිෙවස පරීක්ෂා කර බලා ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව නිවසේ තිබූ යතුරුපැදිය, ජංගම දුරකතන තුනක්, මුදලින් රුපියල් 236,000ක්, රන් මාලයක්, රන් අත් පලඳනාවක් ඇතුළු රුපියල් ලක්ෂ 8කට ආසන්න මුදල් හා දේපළ කොල්ලකා පලා ගොස් ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
සැකකාර යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.