ත්‍රිකුණාමල ඇලස්වත්තේ පිහිටි එළවළු වෙළෙඳසලක හිමිකරුවකු කැබ්රථයක් සමඟ පැහැරගෙන ගොස් පොල්ලකින් පහරදී ඝාතනය කර කැබ් රථය සමඟ සිරුර කන්තලේ රක්ෂිතය තුළ ගිනි තබා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෙසේ ඝාතනය කර ඇත්තේ සෙල්ලයියා ජයරූබන් නමැති 41 හැවිරිදි පුද්ගලෙයකි.
මෙම අපරාධය පසුගිය 13 වැනිදා අලුයම් කාලයේදී සිදුව ඇති බවත් ඝාතනයට තිදෙනෙක් සම්බන්ධ වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවත් සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් උප්පුවේලි පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගෙන සිටින්නේ 24 හැවිරිදි වියේ පසුවන කුච්චවේලිහී පදිංචිකරුවෙකි.
සෙසු සැකකරුවන් දෙදෙනා ත්‍රිකුණාමල මොරවැව සහ ත්‍රිකුණාමල ආනන්දපුරම්හි පදිංචිකරුවන් බව පොලිසිය කියයි. ඔවුන් මේ වන විට සැඟවී සිටින බවත් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවත් පොලිසිය සඳහන් කළේය.
ඝාතනය වූ වෙළෙඳසල් හිමිකරුගේ බිරිය ඇගේ ආත්තම්මා සහ සැමියාගේ මව සමඟ පදිංචිව සිටින බව සඳහන් වන්නේ සාම්පූර්හීය. සැමියාගේ ව්‍යාපාර කටයුතු සඳහා ඇය ඉඳහිට පැමිණ උදව් උපකාර කරන බවත් පොලිසියට ඇය පවසා ඇත. වෙළෙඳසලේ සහායට සේවකයන් දෙදෙනෙක්ද සිටින අතර වෙළෙඳසල් හිමිකරු සමඟ ඔවුන් දෙදෙනා බොහෝ අවස්ථාවන්වලදී වෙළෙඳසලේ රාත්‍රිය ගතකරන බවත් පොලිසිය කියයි.
පසුගිය 12දා රාත්‍රි කාලයේ යතුරුපැදියකින් පැමිණි තිදෙනෙක් නිදා සිටි සේවකයන්ට පිහියෙන් ඇන ව්‍යාපාරිකයාටද පහරදී ඔහුට අයත් කැබ් රථයේ දමාගෙන පැහැරගෙන ගොස් තිබෙන බව පොලිසිය කියයි. මේ ගැන ව්‍යාපාරිකයාගේ ලොකු තාත්තා විසින් ව්‍යාපාරිකයාගේ මවට දුරකතන ඇමතුමක් ලබාදී පවසා තිබේ. ඇය ඒ බව සිය පුතාගේ බිරිඳට පවසා ඇත. ඒත් එක්කම ඇය සාම්පූර් සිට ත්‍රිකුණාමලයට පැමිණ වෙෙළඳසලට ගිය විට දැක ඇත්තේ යම් අපරාධයක් ඒ තුළ සිදුව ඇති බවය. තිදෙනෙක් යතුරුපැදියකින් පැමිණ තමන්ට පිහියකින් කෙටූ බවත් ජීවිතය බේරාගත්තේ දිවගොස් බවත් වෙෙළඳසල් සේවකයන් තිදෙනා ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. ඒ හැරුණු කොට ඔවුන් වෙෙළඳසල් හිමිකරුට වූ දෙයක් නොදන්නා බව පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් ඇය විසින් පොලිසියට 13 වැනිදා පැමිණිල්ලක් කර ඇත. එම පැමිණිල්ලට අනුව උප්පුවේලි පොලිසිය විමර්ශන ආරම්භකරමින් අවට ගොඩනැඟිලි සහ ව්‍යාපාරික ස්ථානවල ඇති ආරක්ෂක කැමරා පරීක්ෂාකර තිබේ.
එහිදී පෙනී ගොස් ඇත්තේ කැබ් රථය අලුයම් කාලයේදී අනුරාධපුර මාර්ගයේ ගමන්කර ඇති බවය. අලුයම 2ට පමණ විල්ගම ප්‍රදේශයේ සිට මොරවැව දක්වා කැබ් රථය ගමන් කරමින් තිබූ බවටද තොරතුරු එහිදී පොලිසියට ලැබී ඇත. එහෙත් කැබ් රථය මොරවැව නගරයට පැමිණ නැති බව ආරක්ෂක කැමරා පරීක්ෂාවේදී පෙනී යන්නට වූ බැවින් මොරවැව නගරයට පිවිසීමට පෙර ඇති අතුරු මාර්ග පොලිස් පරීක්ෂාවට ලක්ව ඇත. ඒ සඳහා මොරවැව පොලිසියේ සහයද ලබාගැනීමට උප්පුවේලි පොලිසිය පියවරගෙන තිබේ.
එහිදී මන්මැදවච්චිය ප්‍රදේශයේ වැලි පටවන ලද ස්ථානයකට ගිය අවස්ථාවේ කැබ් රථයේ ඉදිරිපස කොටස එහි තිබෙනු පොලිසියට නිරීක්ෂණය වී ඇත. අනතුරුව තවත් ඉදිරියට ගමන් කිරීමේදී කැලෑව මැදදී වාහනයේ කැඩී බිඳී ගිය වීදුරු කැබලි හමුවී ඇත. වැඩිදුර පරීක්ෂාවේ දී ව්‍යාපාරිකයාගේ සිරුර සමඟ ගිනි තබා තිබුණු කැබ් රථය සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත.
මොරවැව පන්කුල ග්‍රාමයේ සිට කිලෝ මීටර් 04ක් ඈත රක්ෂිතය තුළ තිබී කැබ් රථය සමඟ පුලුස්සා දමා තිබුණු මළ සිරුර හමුවී ඇත්තේ පෙරේදා (14) ය.
ගයාන් කුමාර වීරසිංහ /කන්තලේ සමූහ – සුමිත්‍රා කුමාරිහාමිÓත්‍රිකුණාමලය විශේෂ – ඒ.ටී.එම්. ගුණානන්ද