ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැති දෙවැනි බිම්ස්ටෙක් ඇමැති හමුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා සහභාගි විය.
ඉන්දීය රජයේ සත්කාරකත්වයෙන් මෙය පැවැති අතර මෙය පසුබැසීම, බෙංගාල බොක්ක ආශ්‍රිතව ආරක්ෂාව, සම්බන්ධතාව, වෙළෙඳාම සහ ආයෝජනය සම්බන්ධයෙන් සහයෝගිතාව සහ වේගවත් කිරීමේ ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට වේදිකාවක් සැපයූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
සැප්තැම්බර් 4 වැනි දින තායිලන්තයේ පැවැත්වීමට නියමිත 6 වැනි බිම්ස්ටෙක් සමුළුවේ දී සලකා බැලීම සඳහා මේ යෝජනා රාජ්‍ය නායකයන් වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර තායිලන්තය දැනට බිම්ස්ටෙක්හි සභාපතිත්වය දරයි.
බෙංගාල බොක්ක කලාපයේ රටවල්වල බහුලව දක්නට ලැබෙන ඛනිජ සම්පත් සිතියම් ගතකිරීම සඳහා බිම්ස්ටෙක්හි යන්ත්‍රණයක් තිබීම අවශ්‍ය බව රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා පෙන්වා දී තිබේ. එක් එක් රටවලට තම නිෂ්පාදන ව්‍යුහය විවිධාංගීකරණය කිරීමට හැකිවන පරිදි, එම රටවල ආර්ථිකයන්හි නිශ්චිත අංශවල නිෂ්පාදන අදියර සිරස් අතට ඒකාබද්ධ කිරීමේ අවස්ථා වර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දී තිබෙන තාරක බාලසූරිය මහතා රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥ කණ්ඩායමක් නිර්මාණය කිරීමට පළමු බිම්ස්ටෙක් හමුවේ දී විදේශ ඇමැති අලි සබ්රි මහතාගේ මුල පිරීම සම්බන්ධයෙන් සිහිපත් කර ඇත.
මේ අවස්ථාවට සහභාගි වූ විදේශ නියෝජිතයන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සුහද හමුවකට සහභාගි වී තිබෙන අතර එය එරට රාජ්‍ය මන්දිරයේ දී පවත්වා තිබේ. විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා, ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සහ තායිලන්ත විදේශ කටයුතු ඇමැති මාරිස් සංගියම්පොන්සා මහත්වරුන් හමුවී සාකච්ඡා පවත්වා ඇත.
1997 වසරේ ජූනි මාසයේ දී බිම්ස්ටෙක් සංවිධානය ආරම්භ කර තිබෙන අතර ශ්‍රී ලංකාව එහි 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකි.
මහින්ද අලුත්ගෙදර