Friday, May 9, 2025
Home » කෝවිලෙන් රන් පවුම් 68ක් හා ලක්ෂ 8ක් අතුරුදන්වීමේ සිදුවීමට පූසාරිවරයා අත්අඩංගුවට ගන්නැයි දායකයෝ පෙළපාළි

කෝවිලෙන් රන් පවුම් 68ක් හා ලක්ෂ 8ක් අතුරුදන්වීමේ සිදුවීමට පූසාරිවරයා අත්අඩංගුවට ගන්නැයි දායකයෝ පෙළපාළි

by sachintha
July 17, 2024 1:24 am 0 comment

යාපනයේ ඌර්කාවතුරේ පුලියන්කුඩාල් මුත්තුවිනයාගර් කෝවිලෙන් රන් පවුම් 68ක් හා මුදල් රුපියල් ලක්ෂ අටක් අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝවිලේ ප්‍රධාන පූසාරිවරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන ලෙස පොලිසියට බල කරමින් කෝවිලේ දායකයෝ පෙරේදා (15) මහා මාර්ගයේ පෙළපාළි ගියහ.

කෝවිලේ වාර්ෂික මංගල්‍යය සමයේදී කෝවිලට ලැබුණු මුදල් හා ස්වර්ණාභරණ බැංකුවක ආරක්ෂාවට තැන්පත් කරන තුරු කෝවිලේ ඉතා සුරක්ෂිත ලෙස තැන්පත් කොට තිබියදී ඒ සියල්ල මීට දින හතරකට ඉහතදී අතුරුදහන් වී ඇති බව කෝවිලේ ප්‍රධාන පූසාරිවරයා දායකයින්ට දැනුම් දී තිබේ.

ඒ අනුව දායකයින් හා පූසාරිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් ඌර්කාවතුරේ පොලිසියට පැමිණිලි කොට ඇති අතර පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇතත් හොරකම සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් පොලිසිය වෙත ලැබී නොමැත.

අවට නිවෙස්වල සී.සී.ටී.වී. කැමරා පද්ධති පරීක්ෂා කොට ඇතත් ඒවායෙහිද කෝවිලට හොරු ඇතුළු වූ බවට රූප රාමු දැක ගන්නට නොහැකි වී තිබේ.

මේ තත්ත්වය මත දායකයින්ට කෝවිලේ ප්‍රධාන පූසාරිවරයා සම්බන්ධයෙන් විශාල සැකයක් හට ගෙන ඇති නිසා පූසාරිවරයා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලෙස ඉල්ලමින් පෙළපාළි යන්නට පටන් ගෙන තිබේ.

ඌර්කාවතුරේ කෝවිලේ දායකයින් කියා සිටින්නේ මෑත කාලයේදී යාපනයේ කෝවිල් ගණනාවකම මුදල් ස්වර්ණාභරණ හා තවත් භාණ්ඩ රැසක් කොල්ලකෑමේ සිද්ධීන්වලට කෝවිල්වල පූසාරීවරුන් හවුල් වූ නිසා මේ ස්වර්ණාභරණ හා මුදල් අතුරුදහන් වීම ගැනද එවැනි මතයක් පදනම් කරගෙන පරීක්ෂණ ආරම්භ කරන ලෙසයි.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT