Home » විමල් වීරවංශට මෙඩිකල් නිකුත් කළ පාණදුර දොස්තරට සිතාසි

විමල් වීරවංශට මෙඩිකල් නිකුත් කළ පාණදුර දොස්තරට සිතාසි

by mahesh
July 19, 2024 1:00 am 0 comment

චන්දන ජයවීර

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහු රෝගීව සිටින බව තහවුරු කෙරෙන ආකාරයේ වෛද්‍ය සහතිකයක් නිකුත් කළ පානදුර ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක වෛද්‍යවරයකුට අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (18) සිතාසි නිකුත් කළේය.

උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන 75කට අධික මුදල් හා දේපොළක හිමිකාරීත්වයක් දැරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පනවා ඇති අල්ලස් නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ අසනීප බව දන්වා අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි විත්තිකරුට එරෙහිව මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය දුන්නේය.

සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙවියගේ මෙහෙය වීම යටතේ පැමිණිල්ලේ 2 වැනි සාක්ෂිකරු ඊයේ (18) සාක්ෂි දීමට නියමිතව තිබිණි. නඩුව කැඳවූ අවස්ථාවේ සාක්ෂිකරු දිවුරුම්පිට සාක්ෂි දීමට ඉදිරිපත් විය.

එහිදී විමල් වීරවංශ මහතාගේ මන්ත්‍රී ආරක්ෂකයා ලෙස ක්‍රියා කරන උප පොලිස් පරීක්ෂක එම්. සිරිරත්න අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් වෛද්‍ය සහතිකයක් දක්වා සිටියේය.

ජනාධිපති නීතිඥ ජයන්ත ප්‍රනාන්දු මහතා එය රැගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් සිය සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පසුවන බවට කරුණු දක්වා සිටියේය. එම වෛද්‍ය සහතිකය අධිකරණය ඉදිරියේ කියවනු ලැබූ අතර විත්තිකරුට ආමාශ අන්ත්‍රයික (ගැස්ට්‍රයිටිස්) රෝගයක් පවතින බව එයින් කියවිණ.

පානදුර ප්‍රදේශයේ මෙඩිකෙයා නම් ආරෝග්‍ය ශාලාවක ලිපි ශීර්ෂය යටතේ නිකුත් කර තිබුණු එම වෛද්‍ය සහතිකයේ වෛද්‍ය අත්සන කේතුමතී නම් මාතෘ නිවාසයක රබර් මුද්‍රාව යටතේ කර ඇති බව කරුණු විමසීමේදී අනාවරණය විය.

පසුගිය 14 වැනිදා දින දාතම දරන එම වෛද්‍ය සහතිකය අනුව විත්තිකරු බලවත් රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් ඔහු ඉදිරි දින 5ක් විවේක නිවාඩු ගත යුතු බව දක්වා තිබිණ.

මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මන්ත්‍රී ආරක්ෂක නිලධාරියාගෙන් විත්තිකරුගේ රෝගී තත්ත්වය ගැන වැඩිදුර කරුණු විමසන ලදි. එහිදී උප පොලිස් පරීක්ෂක එම්. සිරිරත්න පිළිතුරු දෙමින් පසුගිය දින 3 තුළ විත්තිකාර මන්ත්‍රීවරයා නිවෙසින් පිටතට නොගොස් සිය කාමරය තුළම සිටි බව විවෘත අධිකරණය ඉදිරියේ කියා සිටින ලදි. පොලිස් නිලධාරියා එහි වගකීම දරමින් අධිකරණය ඉදිරියේ එම ප්‍රකාශයේ කළ බව නිගමනය කළ අධිකරණය ඒ පිළිබඳ තවදුරටත් කරුණු විමසීම කළේය. එම අවස්ථාවේදී සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය කරුණු දක්වමින් විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙයට පෙර අවස්ථා ගණනාවකදී රෝගී බව පවසා අධිකරණය මඟහැර සිටි බව හා ඒ අනුව සිතාසි නිකුත් කිරීමට ලක්ව ඇති බව සිහිපත් කළාය.

විත්තිකරු 2019 ඔක්: 02දා, 2021 පෙබ: 16දා, 2022 සැප්: 13දා, 2023 ඔක්: 27දා, 2023 දෙසැ: 12දා සහ 2024 මාර්තු 01දා වශයෙන් මෙයට පෙර අවස්ථා 7කදී බඩේ අමාරුව බව පවසා අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි බැවින් ඒ ගැන අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියාය.

විත්තිකරු රෝගී බව පවසා නඩු විභාගයට සහභාගි නොවීම ගැන දැඩි ලෙස අවධානය යොමු කළ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මෙවැනි තත්ත්වයක් අධිකරණය කිසිවිටකත් අනුමත නොකරන බව ප්‍රකාශ කළේය. දෙපාර්ශ්වයේ එකඟතාව අනුව නඩු දිනයක් යොදාගත් පසු අසනීප බව පවසා වෛද්‍ය සහතික ඉදිරිපත් කර විත්ති පාර්ශ්වය අධිකරණයට නොපැමිණීම සිදුකරයි නම් එය යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදය බලවත් ලෙස බාධා කිරීමක් බව පෙන්වා දන්නේය.

ඒ අනුව චුදිතට ප්‍රතිකාර කිරීමට අදාළ සියලු ලේඛනවල සහතික පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිරෝගා මෙඩි කෙයා බෙහෙත් ශාලාවේ වෛද්‍ය රොෂන් ලියනාරච්චිට නියම කළේය.

ඒ අනුව මීළඟ නඩු දින විත්තිකරුට ප්‍රතිකාර කිරීමට අදාළ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් එමඟින් අදාළ වෛද්‍යවරයා චුදිත කුමන දිනවල කුමන වේලාවන් තුළදී ප්‍රතිකාර කළේ ද යන්න තහවුරු කළ යුතු බව කියා සිටින ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT