විනය සහ නීති කඩ කිරීමේ චෝදනා මත චීනයේ හිටපු ආරක්ෂක ඇමැතිවරු දෙදෙනකු වන වෙයි ෆෙංග් සහ ලී ෂංග්ෆු එරට කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අල්ලස් චෝදනාවන්ට ලක්වීම හේතුවෙන් දෙදෙනාටම එරෙහිව නඩු පැවරීමට හා අපරාධ චෝදනා ගොනු කිරීම එරට මහජන විමුක්ති හමුදාවට පවරා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. දෙදෙනාම චීන හමුදාවේ හිටපු ජෙනරාල්වරුන් වන අතර, තනතුරුවලින් නෙරපා හැරිමත් සමඟම ඔවුන් ජෙනරාල් නිලයෙන් ද ඉවත් කිරීමට කොමියුනිස්ට් පක්ෂ රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඔවුන්ගේ චෝදනා සම්බන්ධව චීනය නිල වශයෙන් තොරතුරු හෙළි කර නැති අතර, විශ්වාසනීයත්වයට සහ පාක්ෂිකත්වයට ද්‍රෝහිවූවන් බවට හඳුන්වා දී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2018 මාර්තු මාසයේදී එරට ආරක්ෂක ඇමැති ධුරයට පත්වූ වෙයි ෆෙංග් අල්ලස් චෝදනා එල්ල වීම හේතුවෙන් 2023 මාර්තුවේදී ධුරයෙන් ඉවත් කර ඇතැයි ද, එම මාසයේදීම ආරක්ෂක ඇමැති ධුරයට පත්වූ ලී ෂංග්ෆු පසුගිය වසරේ ඔක්තෝබරයේදී තනතුරෙන් ඉවත් කිරීමට චීන රජය පියවර ගෙන තිබිණි.