සිය වියදම අවම කර ගැනීම සඳහා ඉන්ධන සහ පිසුම් තෙල් සඳහා එකම බවුසරයක් භාවිත කිරීම සම්බන්ධව චීනයේ ප්‍රමුඛතම ආහාර නිෂ්පාදන සමාගමකට චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම දෙවර්ගය හුවමාරු කිරීමේදී බවුසර් ටැංකි පිරිසුදු කිරීමක් ද සිදු නොකරන බව හෙළි වී ඇති අතර, එම සිදුවීම සම්බන්ධව චීන රජය පුළුල් විමර්ශනයක් ද ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
රජයට අයත් බව කියන එම ආහාර සමාගමේ අපකීර්තිමත් ක්‍රියාවලිය පිළිබඳ එරට සමාජ මාධ්‍යජාලයේ දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇතැයි ද වාර්තා වේ. එකම බවුසරය එවැනි කටයුතු සඳහා භාවිත කිරීම චීනයේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ විවෘත රහසක් බව බීජිං නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත. පිසුම් තෙල් සහ ඉන්ධන එකම බවුසරය මඟින් ප්‍රවාහනය කිරීමට අමතරව විවිධ රසායන ද්‍රව වර්ග ප්‍රවාහනය කිරීමෙන් පසු එම බවුසර් කිසිදු පිරිසුදු කිරීමකින් තොරව සෝයා තෙල් වැනි ආහාර සඳහා යොදා ගන්නා තෙල් වර්ග ප්‍රවාහනය කරන බව ද වාර්තා වේ.
එම තොරතුරු අනාවරණය වීමෙන් පසු මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ස්වාධීන කමිටුවක් පත් කළ බව චීන රජයේ පරිපාලන කවුන්සිලයේ ආහාර ආරක්ෂණ කාර්යාලය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.