Home » මුලතිව් ඔඩ්ඩුසුඩාන් මහ විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්ට මැර ප්‍රහාරයක්

මුලතිව් ඔඩ්ඩුසුඩාන් මහ විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්ට මැර ප්‍රහාරයක්

සිහිය නැති ඔහු දැඩි සත්කාරයේ

by mahesh
July 19, 2024 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

මුලතිව් ඔට්ටුසුඩාන් මහා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයාට මැර ප්‍රහාරයක් එල්ල වීම නිසා බරපතළ තුවාල ලබා ඊයේ (18) අලුයම මුලතිව් රෝහලට ඇතුළත් කර තිබේ.

පී.ශාන්තකුමාර් නමැති ඔහුට මේ මැර ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඔට්ටුසුඩාන් පුදුක්කුලම් පාරේදීය.

ඔට්ටුසුඩාන් තන්තෝර්නාරි සුවර් කෝවිලේ පැවති උත්සවයකට සහභාගී වී ලේකම්වරයා තනිවම සිය යතුරු පැදියෙන් ආපසු නිවස බලා එමින් සිටියදී මඟ රැක සිටි පිරිසක් ඔහුට පොලුවලින් පහරදී තිබේ. පහරකෑමට ලක් වූ ඔහුට කතා කිරීමට නොහැකි තත්ත්වයක් හටගෙන ඇති අතර ඔහුගේ අත්පාවලට බරපතළ ලෙස හානි සිදු වී තිබේ. තවමත් ඔහු පසු වන්නේ සිහි මූර්ජා ගතියකින් වන අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

කෑකෝ ගසන ශබ්දයක් ඇසී ඒ ස්ථානයට පැමිණි ගම්වාසීන් පිරිසක් ලේකම්වරයා ගිලන් රථයක් ගෙන්වාගෙන රෝහල්ගතකර තිබේ. ගම්වාසීන් පැමිණෙන තුරුම මැරයන් පිරිස ඔහුට පහරදී ඇති අතර පසුව යතුරුපැදි තුනක නැඟී පලා ගිය බව ගම්වාසීහු ප්‍රකාශ කරති. මේ අන්දමට ප්‍රහාරයක් එල්ල වීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. මුලතිව් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT