Home » අයෝමාල් කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවකට මීටර් 400න් කඩුල්ල පනී

අයෝමාල් කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවකට මීටර් 400න් කඩුල්ල පනී

by mahesh
July 19, 2024 1:00 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර

සඳරුවන් ඉදිරියේදීම පුවිදරන් වාර්තාව අලුත් කරද්දී කාලිංග මීටර් 200 වසර 30ක වාර්තාවක් මකාදමයි

ජාතික ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට මධ්‍යම පළාතේ අයෝමාල් අකලංක සමත් විය. ඔහු මේ සඳහා තත්පර 51.26ක කාලයක් ගත කළ අතර, එය අවුරුදු 20න් පහළ නව ශ්‍රී ලංකා වාර්තාවක් බවට ද පත් විය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 48 වැනි ජාතික ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ අයෝමාල් මේ දස්කම දැක්වූ අතර, එහි රිදී පදක්කම සබරගමුවේ ඒ.එල්.ඒ.අයි. රත්නසේන (තත්. 51.84)) සහ ලෝකඩ පදක්කම බස්නාහිර පළාතේ එන්.ඩී.කේ. විදුරංග (52.24) දිනා ගත්හ.

මේ අතර ඊයේ නව තරග වාර්තා 2ක් බිහි කිරීමට ක්‍රීඩකයන් සමත් වූ අතර, එහිදී මීටර් 200 ඉසව්වෙන් කාලිංග කුමාරගේ වසර 30ක් පැරණි තරග වාර්තාවක් අලුත් කිරීම කැපී පෙනිණි. ඔහු ඊයේ තත්පර 20.71කින් තරගය නිමා කළ අතර, එහි පැරණි වාර්තාව දකුණු පළාතේ විනෝජ් සුරංජය විසින් 2015 වසරේ පිහිටුවා තිබුණේ තත්පර 21.02කිනි. මේ ඉසව්වට මීටර් 400 ඉසව්වෙන් ඔලිම්පික් වරම් ලබා සිටින මධ්‍යම පළාතේ අරුණ දර්ශන එක්වූ අතර, ඔහුට රිදී පදක්කම හිමි විය. තත්පර 20.77 කාලයක් වාර්තා කළ අරුණ මේ තරගාවලියේදී සිය සුපුරුදු ඉසව්ව වන මීටර් 400 ඉසව්වට එක් නොවේ. මේ ඉසව්වේ ලෝකඩ පදක්ම වයඹ පළාතේ ඒ.එස්.එම්. සෆාන් (තත්. 21.16) දිනා ගත්තේය.

ඊයේ අනෙක් වාර්තාව හිමි කර ගත්තේ උතුරු පළාත් එම්. පුවිදරන් ය. ඔහු පිරිමි රිටි පැනීමේ ඉසව්වේදී මීටර් 5.11කින් මේ වාර්තාව බිහි කළ අතර, එහිදී පැරණි වාර්තාවට හිමිකම් කී බස්නාහිර පළාතේ එම්.එච්.අයි. සඳරුවන් (මී. 5.00) දෙවැනි ස්ථානයට පත් විය. සඳරුවන් පැරණි වාර්තාව පිහිටුවා තිබුණේ 2016 වසරේ මීටර් 5.10කිනි. එහි ලෝකඩ පදක්කම මධ්‍යම පළාතේ ඩී.එච්.ජී.එස්. ජයන්තට (මී. 4.60) හිමිවිය. අද තරගාවලියේ අවසන් දිනයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT