Home » ජගත් ක්‍රිකට් සමුළුවේ වාර්ෂික මහා සභාව අද කොළඹදී මුළුදෙයි

ජගත් ක්‍රිකට් සමුළුවේ වාර්ෂික මහා සභාව අද කොළඹදී මුළුදෙයි

රටවල් 108කින් 220කට අධික පිරිසක්

by mahesh
July 19, 2024 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

වැඩිම අවධානය ඉන්දියාවේ ජේ ෂා වෙතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සත්කාරකත්වයෙන් කොළඹදී අද ආරම්භ වන ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ වාර්ෂික මහා සභාවේ වැඩිම අවධානය ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා මහතා වෙත යොමුව පවතින අතර, එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මීළඟ අයිසීසී මුල් පුටුව භාර ගැනීම පිළිබඳ ඔහුගේ අදහස සාමාජික රටවල් අපේක්ෂාවෙන් සිටීමය. ලොව ක්‍රිකට් ක්‍රීඩාව අධීක්ෂණය කරන අයිසීසීයේ මීළඟ ප්‍රධානියා ලෙස ජේ ෂා ඉදිරියේදී පාලනය භාර ගැනීමට ඉඩ ඇති අතර, එය සිදු වන්නේ කවදාද යන ප්‍රශ්නය පමණක් ඉතිරිව ඇතැයි විචාරකයෝ පවසති.

දැනට අයිසීසී සභාපති ලෙස කටයුතු කරන නවසීලන්ත ජාතික ග්‍රෙග් බාර්ක්ලේ මහතාගේ ධුර කාලය මේ වසරේ දෙසැම්බර් මාසයේදී අවසන්වන අතර, ජේ ෂාට ඉන්දීය ක්‍රිකට් ලේකම් ලෙස කටයුතු කිරීමේ කාලය තවත් වසරක් ඉතිරිව ඇත. එබැවින් ඉන්දීය ක්‍රිකට් ලේකම් ධුරයේ නිල කාලයට පෙර ඉල්ලා අස්වී අයිසීසී සභාපති තනතුරට ඉදිරිපත් වන්නේද යන්න බොහෝ දෙනාගේ කුතුහලයට තුඩුදී ඇති කරුණකි. ජේ ෂා මේ වසරේ එම තනතුර අපේක්ෂා නොකරන්නේ නම් ග්‍රෙග් බාර්ක්ලේ මහතාට 2026 දෙසැම්බර් දක්වා සිය නිල කාලය දීර්ඝ කර ගැනීමේ අවස්ථා උදාවේ.

අමෙරිකා එක්සත් ජනපදයේ නිමාවට පත්වූ විස්සයි20 ලෝක කුසලාන තරගවලින් අයිසීසීයට සිදුව ඇතැයි කියන ඩොලර් මිලියන 20කට වැඩි දැවැන්ත අලාභය පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ වාර්ෂික මහා සභාවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය. පසුගියදා නිමාවූ විස්සයි20 ලෝක කුසලානයේ සත්කාරකත්වය බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමඟින් අමෙරිකාව දැරූ අතර, එහිදී සිදුවූ පාඩුව සැලකිය යුතු අගයක් ගෙන තිබේ.

අයිසීසී සාමාජිකත්ව පිළිබඳ සාකච්ඡා, අයිසීසී සංවර්ධන සම්මාන ප්‍රදානය සහ ආයතනයේ නව බාහිර විගණකවරයා පත් කිරීම ද න්‍යාය පත්‍රයේ කොටසකි. මෙයට අමතරව ප්‍රධාන විධායක කමිටු රැස්වීමක්, මුදල් හා වාණිජ කටයුතු කමිටු රැස්වීමක් හා අවසන් දිනයේ සියලු නියෝජිතයින් එක්ව වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීමට නියමිතය.

ආසියානු කලාපයේ රටක මෙවැනි ක්‍රිකට් මහා සමුළුවක් පවත්වන පළමු අවස්ථාව මෙය වේ. අයිසීසී සාමාජික රටවල් 108ක නියෝජිතයෝ 220කට අධික පිරිසක් මෙම දැවැන්ත ක්‍රිකට් සමුළුවට එක්වීම උදෙසා පැමිණ සිටිති.

“ඔලිම්පික් වෙනුවෙන් ලැබෙන අවස්ථාව” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර ක්‍රිකට් වාර්ෂික සමුළුවේදී ‘2028 ලෝස් ඇන්ජලීස් ක්‍රිකට් ජයග්‍රාහී ප්‍රතිලාභය’ යන තේමාව ද සාකච්ඡාවට ගැනේ.

මේ ජාත්‍යන්තර ක්‍රිකට් වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවට ගෙන ඒමට පුරෝගාමී මෙහෙවරක යෙදුණු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සහ අපේ රටේ සුන්දරත්වය සහ උරුමය ලෝකයට ප්‍රදර්ශනය කිරීමට මෙය හොඳම අවස්ථාවක් බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT