Home » අමෙරිකාවටම පත්තු වූ වෙඩිල්ල

අමෙරිකාවටම පත්තු වූ වෙඩිල්ල

by damith
July 20, 2024 1:20 am 0 comment

ලෝක දේශපාලන කරළිය තුළ වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම නොයෙක් කරුණු අරබයා ප්‍රසිද්ධ මාතෘකාවක් වන තරමටම ජනප්‍රිය පුද්ගලයන් සිටින්නේ අතලොස්සක් පමණි. ඒ අතුරින් ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ඉහළින්ම තැබිය හැකි දේශපාලන නායකයෙකි. අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයකු වශයෙන් ලෝකයේම මාතෘකාවක් බවට පත්වුණු ට්‍රම්ප් යළිත් කතාබහට ලක්වූයේ අමෙරිකාවේ මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු නිසාම නොව, පසුගියදා පැවති ජන රැලියේදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ නිසාවෙනි. එය ඔහු වෙත එල්ල කළ වෙඩි ප්‍රහාරයක් ලෙසින් නිශ්චිත ලෙසින්ම සඳහන් කළ හැකි වුවද එයින් ඔහුට බරපතළ හානියකට මුහුණ දීමට සිදු වූයේ නැත. මේ මොහොත වන විටත් ලොව සියලුම දෙනා දන්නා ආකාරයට ඔහුට හානි වී තිබුණේ තම දකුණු කනේ ඉතා සුළු කොටසකට පමණි. වීඩියෝ දර්ශනවල සටහන් වන ආකාරයට එම වෙඩි ප්‍රහාරය එල්ල වීමත් සමඟ ඔහුගේ ආරක්ෂක අංශයේ සිටි සෙබළුන් ඔහුව ආරක්ෂාව සහිතව ආවරණය කර ගනිමින් මෝටර් රථයට ගෙනයනු දක්නට ලැබිණි.

ප්‍රහාරයට ලක්වුණු ට්‍රම්ප්

මෙම වෙඩි ප්‍රහාරයට ලක්වීමත් සමඟ තම ආරක්ෂකයන් විසින් ඔහුව රැගෙන යන අවස්ථාවේදී දෑත් ඔසවා යළිත් තම ආධාරකරුවන්ට ආචාර කරන්නට විය. වෙඩි ප්‍රහාරයෙන් පසුව ට්‍රම්ප් ඔහුට මුහුණු දීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි සටහනක් තබන්නට විය. ඔහු කියා සිටියේ,

“සද්දයක් එක්ක මට තේරුණා මොකක් හරි යම් වැරදි දෙයක් සිද්ධ වෙන්න යනවා කියලා. මට තේරුණා මගේ හම පසාරු කරගෙන යනවා වගේ කියලා. මේ වෙලාවේ ලේ ගොඩක් ගියා. ඒ වෙලාවේ තේරුණා මොකක්ද සිදුවෙන්නෙ කියලා.”

ට්‍රම්ප්ට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූයේ ඔහු ජෝ බයිඩ්න්ගේ පරිපාලනයට විරුද්ධව අදහස් දක්වමින් සිටින මොහොතකය. මේ මොහොතේ ඔහු වටා බයිඩ්න්ට විරෝධය පළ කරන පුවරු රැගත් පිරිසක් ද සිටි අතර, වෙඩි ප්‍රහාරය එල්ල වීමත් සමඟ ඔවුන් සියලු දෙනා තම ආරක්ෂාව පතා පහත් වන්නට විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බී.බී.සී. පුවත් සේවය සඳහන් කරන්නේ ට්‍රම්ප් මහජනයා අමතමින් සිටි අවස්ථාවේදී ඉදිකර තිබූ වේදිකාවට දකුණු පසින් ඇති තනි මහල් ගොඩනැඟිල්ලේ සිට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවය. ඔවුන් එසේ සඳහන් කරනුයේ වෙඩි තැබූ පුද්ගලයා දුටු බවට සඳහන් කර තිබූ බව පවසමිනි.

“මේ පුද්ගලයා ළඟ රයිෆලයක් තිබුණා. පැහැදිලිවම අපට පෙනුණා ඒක රයිෆලයක් කියලා. පොලිසියට අපි මේ සිදුවීම අත දිගු කරලා පෙන්නුවත් ඒ අයට මේක අවබෝධ වුණේ නෑ. ඔවුන් කළේ ඒ අවස්ථාවේදී බිම පරීක්ෂ කරපු එක”

තවත් පුද්ගලයෙක් බී.බී.සී.යට සඳහන් කර සිටියේ රහස් ආරක්ෂක සේවයේ නිලධාරින් ට්‍රම්ප් ආරක්ෂා කිරීමට ඔහු වෙත දිව යන අන්දම දුටු බවත්, රැස්වී සිටින පිරිස කෑකෝ ගසමින් බිම පහත් වන අයුරු දුටු බව හා එම අවස්ථාවේදී වෙඩි හඬ පහක් ඇසුණු බවත්ය.

“ඊට ටික වෙලාවකට පස්සේ ඔහු නැඟිටලා මිට මොළවලා අත උස්සමින් මොනවහරි කිව්වා” ඒ ඔහුගේ ප්‍රකාශයයි.

මෙම වෙඩි ප්‍රහාරය සැලවීමත් සමඟ ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රහාරය හෙළා දකිමින් එය පිළිකුල් සහගත ක්‍රියාවකයි පවසා සිටියේය. ඔහු පමණක් නොව පක්ෂ විපක්ෂ දෙපිරිසම මෙම ප්‍රහාරය හෙළා දකින්නට විය. හිටපු ජනාධිපති බැරක් ඔබාමා ද මේ සම්බන්ධයෙන් තම අදහස් ප්‍රකාශ කර සිටියේය. ඔහු සඳහන් කර සිටියේ,

“අප මේ පවත්වා ගනිමින් යන ප්‍රජාතන්ත්‍රවාදය තුළ දේශපාලන ප්‍රචණ්ඩත්වයට කිසිම ඉඩක් පවතින්නේ නෑ. කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයාට බරපතළ හානියක් නොවීම පිළිබඳව තමාට සහනයක් දැනෙන බවයි. ”

එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා වන වර්තමාන ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කර සිටියේ,

“මේ ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්වලට අමෙරිකාවේ ඉඩක් නොමැති බවත්, සියලුම දෙනා මෙම ප්‍රහාරය හෙළාදැකිය යුතු බවත්ය. එමෙන්ම අවසාන වශයෙන් ඔහු සඳහන් කර සිටියේ ඉදිරි පැය කිහිපය තුළදී ට්‍රම්ප් සමඟ කතා කිරීමට තමා සූදානම් බවයි.

මෙම වෙඩි ප්‍රහාරයේදී ආරක්ෂක අංශ නියෝජිතයන් විසින් සැකකරුට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරය අතරතුර ඔහු මිය ගිය අතර, කිහිපදෙනකු තුවාල ලබා එක් අයකු ජීවිතක්ෂයට පත් විය. මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී තට්ටු ගොඩනැඟිල්ලක ඉහළ සිට ඔහු සිදු කර ඇත්තේ ඝාතන තැතක් බව බී.බී.සී. පුවත් සේවය සඳහන් කර සිටියි.

DNA පරීක්ෂණ

මුල් අවස්ථාවේදී විමර්ශන නිලධාරීහු විසින් තුවක්කුකරු පිළිබඳව නිසි තොරතුරක් ඉදිරිපත් කර නොතිබූ අතර, ඔහුව හඳුනා ගැනීම පිණිස DNA පරීක්ෂණ සිදු කරමින් සිටිනා බව සඳහන් කළහ. FBI නිලධාරින් වැඩිදුරටත් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ තුවක්කුකරු තාක්ෂණිකව හඳුනාගෙන ඇති මුත් ඔහුගේ චේතනාව තහවුරු කරගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් සියලු පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව සැකකරු හඳුනාගත් පසු විමර්ශන නිලධාරින්ගේ මීළඟ ප්‍රයත්නය වූයේ මෙම සැලැස්ම සඳහා තවත් අය සම්බන්ධද යන්නයි. මේ සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විශේෂ නියෝජිතයකු සඳහන් කර සිටියේ නිශ්චිතවම මෙහිදී සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව විමර්ශනය කිරීමට මාස ගණනාවක් ගත විය හැකි බවයි.

මේ ආකාරයට සිද්ධියට සම්බන්ධ සැකකරු විමර්ශන නිලධාරින් විසින් සොයා ගත් අතර, ඔහු නමින් තෝමස් මැතිව්. තෝමස් මිය ගියද මේ වන විට ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ හිටපු ජනාධිපතිවරයා මහජනතාව අමතමින් සිටියදී ඔවුන් අතරින් කෙනෙකුව වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදු කිරීමයි.

මෙම 20 හැවිරිදි තුවක්කුකරු ස්නයිපර් ප්‍රහාරයෙන් එම ස්ථානයේදීම මිය යන්නට විය. තෝමස් මැතිව් පෙන්සෙල්වේනියාවේ බෙනල් පාර්ක්හි පදිංචිකරුවකු වූ අතර, 2022දී බෙනල් පාර්ක් උසස් පාසලෙන් උපාධිය ලබා ගත්තකු ලෙසින් ද සඳහන්ය. තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමේදී නිලධාරින්ට සොයාගැනීමට හැකි වූයේ ඔහු රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිත ඡන්ද දායකයකු බවයි.

කෙසේ වෙතත් මේ වන විට අලුත් කතාවක් මතුව තිබේ. විමර්ශන නිලධාරින්ගේ පර්යේෂණයන්ට අනුව ඔවුන් ප්‍රකාශ කරනුයේ වෙඩි තැබීමට පැයකට පෙර මෙම පුද්ගලයාව මහජනයා අතර දුටු බවත්, ඉන් අනතුරුව ඔහු සැණෙකින් අතුරුදන්ව ගිය බවයි. දැනට ඔවුන් ඉදිරිපත් කරන තොරතුරුවලට අනුව තුවක්කුකරු මීට සතියකට හෝ පෙර මෙම ස්ථානයට ගොස් ඇති බව පවසයි.

ලෝක නායකන්ගේ කනගාටුව

කෙසේ වෙතත් මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් බහුතරයක් ලෝක නායකයෝ තම කනගාටුව මෙන්ම අදහස් ප්‍රකාශ කර සිටියහ. ඒ අතුරින් නිතරම පාහේ අමෙරිකාව විවේචනය කරන රුසියාවේ ක්‍රෙම්ලිනය නිකුත් කළ ප්‍රකාශය වූයේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමාන එක්සත් ජනපද පරිපාලනය වගකිව යුතු බව විශ්වාස නොකරන නමුත් යම් යම් ගැටුම් අවුළුවාලන වාතාවරණයක් නිර්මාණය කර ඇති බවයි.

එමෙන්ම මේ වන විටත් යුද්ධයක් අවුළාගෙන සිටින ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ,

“මෙය ඩොනල්ඩ් ට්‍රම්ප්ට පමණක් එල්ල වූ ප්‍රහාරයක් නොවේ. මෙය අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති අපේක්ෂකයෙකුට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් මෙන්ම අමෙරිකාවට එල්ල වූ වෙඩි ප්‍රහාරයක්. ඒ වගේම සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රටවලට එල්ල වූ වෙඩි ප්‍රහාරයක්” යනුවෙනි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ජනමාධ්‍ය ප්‍රකාශ කරන්නේ ට්‍රම්ප් වෙඩි වැදීමෙන් පසු යළිත් නැඟී සිට මිට මොළවා ජනතාවට පෙන්වීමම ඔහුගේ ඡන්ද සටනේ දැඩි බලපෑමක් කළ හැකි ඡායාරූපයක් බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT