ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ පූර්ණ දායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ පළමුවන දූරියන් වගා ආදර්ශ වගා කළාපය වලස්මුල්ල හදුගල ඇතුළු ගම්මාන තුනක් කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත කෙරිණි.
වළස්මුල්ල පළමු දූරියන් ආදර්ශ වගා කලාපයේ කටයුතු ඊයේ(19) පස්වරුවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීම සිදු විය.
අපනයනය ඉළක්ක කරමින් ආරම්භ කෙරෙන දූරියන් ආදර්ශ වගා කලාපයේ පළමුවැනි අදියර යටතේ දූරියන් පැළ 2500ක් ගොවීන් අතර බෙදා හැරීමට නියමිතය. සම්පූර්ණ ව්‍යාපෘතිය තුළ දූරියන් පැළ 20,000ක් වගා කිරීමට සැළසුම් කර තිබේ.
මෙම වගා කලාපය තුල වැඩි අස්වැන්නක් ලබා දෙන හා ඉහළ රසයකින් හෙබි කෙටිකාලයක් තුළ ඵල හටගන්නා දෙමුහුන් දූරියන් විශේෂ දෙකක් වන අඹතැන්න හා කසුන් නැමැති විශේෂ දෙක වගා කිරීමට කටයුතු යොදා තිබේ. මෙම දූරියන් ප්‍රභේද දෙකම අනෙකුත් සාම්ප්‍රධායික දූරියන් ගස් මෙන් විශාලව නොවැඩෙන අතර අඩි අටක්- 12ක් දක්වා උසට වැඩෙන එහෙත් වැඩි ඵලදාවක් ලබා දෙන ප්‍රභේද දෙකක් වේ. මේ නිසා සාමාන්‍ය ඉඩමක වුවත් වගා කිරීමට හැකියාව ඇත.
අඹතැන්න හා කසුන් දූරියන් විශේෂ දෙකම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නවතම ප්‍රභේද දෙකක් වේ.
මෙම අවස්ථාවට හදබිම අධිකාරියේ සභාපති ඉසුරු ධනන්ජය මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිට ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහිත පලතුරක් බවට දූරියන් පත්ව තිබෙන බවත් තායිලන්තය පමණක් වසරකට ඩොලර් බිලියන 08ක පමණ ආදායමක් දූරියන් අපනයනය මගින් උපයා ගන්නා බවත් සඳහන් කළේය.
මේ නිසා අප රටේ ද දූරියන් ඉතා හොඳින් වැවෙන නමුත් මෙතෙක් මෙම වගාව අපනයන භෝගයක් ලෙස ප්‍රවර්ධනය වී නැති බවත් අවධාරණය කළේය.
නමුත් මේ වනවිට දූරියන් වගා කිරීම සඳහා පුද්ගලික අංශය විසින් ලොකු උනන්දුවක් දක්වන අතර ඔවුන්ට මෙම වගාව සඳහා අවශ්‍ය ඉඩම් රජය විසින් ලබා දී තිබේ. දැනට ඇතැම් පුද්ගලයින් හා සමාගම් අක්කර 10-15 බැගින් විශාල ඉඩම්වල දූරියන් වගාව අපනයනය ඉළක්ක කරමින් වගා කිරීම ආරම්භ කර ඇති නිසා ඉදිරියේ දී දූරියන් අපනයනය මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.