- බඩු මුට්ටු කඩා ලක්ෂ 35ක දෙස් විදෙස් මුදලුත් උස්සලා
- කතක් ඇතුළු 5ක් පොලිස් දැලේ
දෙහිවල ගාලු පාරේ විදෙස් ගමන් සඳහා ගුවන් ටිකට් පත් නිකුත් කිරීම හා විදෙස්ගත වීම් සඳහා උපදේශන ලබා දෙන ආයතනයකට යකඩ පොලු රැගෙන කඩා වැදී දේපොළවලට පහර දී අලාභහානි කර රුපියල් ලක්ෂ 35කට අධික මෙරට මුදල් විදේශීය මුදල් ඇතුළු දේපොළ සොරාගත් බව කියන කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
සැකකරුවන් සොරාගත් දේපොළවලින් ලැප්ටොප් යන්ත්‍ර දෙකක් හා ජංගම දුරකතන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත. පොලිසිය පැවසුවේ, අක්කරෙයිපත්තුව, ජින්නා පාර පදිංචි පුද්ගලයකු දෙහිවල ගාලු පාරේ පවත්වාගෙන යන විදෙස් ගමන් සඳහා ගුවන් ටිකට් පත් නිකුත් කිරීම හා විදෙස්ගත වීම සඳහා උපදේශනය ලබා දෙන ආයතනයකට කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු ඉතාලි රටේ වීසා ලබා ගැනීම සඳහා මුදල් ලබා දී එහෙත් වීසා ලබා නොදීම සම්බන්ධව පැමිණිලිකරු සමඟ බහින්බස් වීමක් සිදුව ඇති බවයි. එහිදී එම ආයතනයේ හිමිකරු වන පැමිණිලිකරු එම පුද්ගලයන්ව ආයතනයෙන් එළියට දමා දොර වසා ඇතැයි පොලිසිය සඳහන් කළේය. එක්වරම ආයතනය වෙත කඩා වැදුණු පිරිසක් යකඩ පොලුවලින් ආයතනයට පහර දී අලාභහානි කර ඇති අතර, පැමිණිලිකරු විසින් එම අවස්ථාවේදී ආයතනයේ තිබූ ලක්ෂ 25ක මුදලක්, ස්ටාලින් පවුම් 2000ක මුදලක් පොලිතින් කවරයක බහා ආයතනය තුළ තිබූ යතුරුපැදියේ බැටරිය සවි කරන කොටසේ සඟවා පිටුපස තාප්පයෙන් පැන පලා ගොස් පොලිසිය වෙත පැමිණ පැමිණිලි කර තිබූ බව පොලිසිය කීය. එම පිරිස පහර දීමෙන් ආයතනයේ ඉදිරිපස කොටසට, මේස, පුටු හා යතුරුපැදියට ද අලාභ සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් වයස අවුරුදු 25-33 අතර කැලණිය හා යාපනය පදිංචිකරුවන්ය. සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.