ගාල්ල – කොළඹ මහා මාර්ගයේ ගාල්ල ගිංතොටදී ඊයේ (19) අලුයම යතුරුපැදියක් සහ ගිලන් රථයක් මුහුණට මුහුණ හැපීමෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පානදුර පොළ පාර පදිංචිකරුවකු වූ 22 හැවිරිදි තරුණයෙකි. ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බලපිටිය මූලික රෝහලට අයත් ගිලන් රථයක් සහ කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මුහුණට මුහුණ හැපීමෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කරාපිටිය රෝහලට රැගෙන යමිත් තිබියදී මියගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.
මියගිය අයගේ දේහය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අත, ඒ පිළිබඳ මරණ පරීක්ෂණය ඊයේ (19) පැවැත්වීමට නියමිතව තිබුණි.
අනතුරින් පසුව ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ගිලන් රථයේ රියැදුරු බලපිටිය මුලික රෝහලට ඇතුළු වී ඇතැයි ද වාර්තා වේ. ගාල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.