බරපතළ ලෙස ආර්ථිකය කඩාවැටුණු වෙනත් රටවල ජනතාව පීඩා විඳී කාලය හා සැසඳීමේදී මෙරට ජනතාව එතරම් කාලයක් පීඩා නොවින්දේ ජනපතිවරයා දුරදක්නා නුවණින් ගත් තීරණ නිසා යැයි මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසයි.
ගෑස්, ඉන්ධන හා විදුලිය සම්බන්ධයෙන් පැනනැඟුණු අර්බුදවලින් ජනතාවට පීඩා විඳින්නට සිදු වූ කාලය ඉතා කෙටි නිසා අද වනවිට ජනතාවට එම ප්‍රශ්නවල බරපතළ ස්වභාවය යම් ප්‍රමාණයකට අමතක වී යන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ යැයි ද ඒ මහතා කීය.
මහනුවරදී මාධ්‍ය හමුවේ පාලිත සුබසිංහ මහතා මෙසේ ද පැවසීය. වසර දෙකකට පෙර රටේ පැවැති ගැටලු ඉබේ විසඳුණු ස්වභාවයක් ජනගත කරන්නට සමාජ මාධ්‍ය මඟින් උත්සාහ කරන ස්වරූපයක් පෙනෙන්න තිබෙනවා. මේ වනවිට සමාජ මාධ්‍ය මඟින් ජනපතිවරු පත්වෙලත් ඉවරයි. මෙවර මැතිවරණ ප්‍රචාරක කටයුතු හා බැඳුණු ක්ෂේත්‍ර සැලකීමේ දී සමාජ මාධ්‍ය මඟින් කෙරෙන ප්‍රචාරයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. තමන් සහයෝගය ලබාදෙන පුද්ගලයා හෝ පක්ෂය ප්‍රවර්ධනය කරන අතරතුර සෙසු අපේක්ෂකයන් හා පක්ෂවලට අගතියක් වන ආකාරයේ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සැලසුම් සහගතව ප්‍රචාරය කෙරෙන ස්වභාවයක් දක්නට ලැබෙනවා.
මේ වනවිට දේශපාලන පක්ෂ මගින් තම තමන්ගේ ප්‍රචාරක කටයුතු සමාජ මාධ්‍ය ඔස්සේ ආරම්භ කර තිබෙනවා. පක්ෂ මගින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටු නිරීක්ෂණයේ දී ඔවුන් තමන්ගේ මතවාදය සමාජ ගත කරන්නට මෙන්ම අනෙක් පක්ෂ හා නායකයන්ට ප්‍රහාර එල්ල කරන්නත් ඒවා භාවිත කරන ස්වභාවයක් පෙනෙනවා. පසුගිය ඉන්දියානු මහ මැතිවරණයේ දී මෙන්ම මෙරට ඉදිරි මැතිවරණවලදීත් සමාජ මාධ්‍ය බරපතළ ලෙස ප්‍රචාරණ කටයුතුවලට එක්වන තත්ත්වයක් දැන් සිටම පෙනෙන්න තිබෙනවා. මෙරට මැතිවරණයක දී කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමත් ප්‍රථම වරට අපට දැක ගන්න ලැබේවි. සමාජ මාධ්‍ය මඟින් ගොඩනඟන්න උත්සාහ කරන මතවාදය තුළ අතරමංවී තමන්ගේ වටිනා ඡන්දය අවභාවිත වීමට ඉඩ නොතැබීම ඡන්දදායකයන්ගේ ප්‍රමුඛතම වගකීමක් බව කීය.
අසේල කුරුළුවංශ