දිඹුලාගල මනම්පිටිය මාගංතොට ගම්මානයේ පුතකු තම මවට හිසට සහ දෙපාවලට බරපතළ ලෙස පහරදීම හේතුවෙන් එම මව බරපතළ තුවාල ලබා මනම්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව මනම්පිටිය පොලිසිය පවසයි.
මෙලෙස බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබන්නේ මනම්පිටිය, මාගංතොට ගම්මානයේ අංක 76 ලිපිනයේ පදිංචි, 56 වියැති තිදරු මවකවන කේ.ඩී. රම්‍යා ස්වර්ණලතා යන අය බව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
ඉකුත් 18 වැනිදා තම පුතු විසින් පොල්ලකින් මවට පහර දී ඇති බවත්, ඒ සම්බන්ධව මව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවත්, පුතු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර පුතා ගම්මානයෙන් පලාගොස් ඇති බවද පරීක්ෂණ සිදු කරන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
මවගේ නිවසේ සුරතලයට ඇති කරන බල්ලකු පුතුගේ ගෙදරට යෑම සම්බන්ධව ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑම මෙම පහරදීමට මූලික හේතුව බවත්, මීට පෙරද පුතු සහ ලේලිය මෙම මවට පහරදී ඇති බවට පැමිණිලි ලැබී ඇති බවද ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන මනම්පිටිය පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
සිරිපුර – මදුශානි අබේසිංහ