Home » සමාධි පිළිමයක් ඉදිකොට දුම්රිය සාමාන්‍යාධිකාරීගේ ගුණ සැමරේ

සමාධි පිළිමයක් ඉදිකොට දුම්රිය සාමාන්‍යාධිකාරීගේ ගුණ සැමරේ

by sachintha
July 23, 2024 1:52 am 0 comment

සේවයේ නිරතව සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතාගේ තෙමස් පූර්ණ ගුණානුස්මරණය වෙනුවෙන් රත්මලාන ශ්‍රී ලංකා ජර්මානු දුම්රිය කාර්මික පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සුරතින් සිදු කෙරිණි.

සමාධි මුද්‍රාව නිරූපිත මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ උමන්දාව බෞද්ධ විශ්වගම්මානයේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි අමාත්‍යවරයාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් නිර්මාණය කොට තිබේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“වසර සියයකට වඩා පැරණි ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ පළමුවරට සිදුවන කෘතවේදීත්වයේ උත්සවයක් ලෙස මෙම ආගමික වැඩසටහන හඳුන්වා දිය හැකියි. තම ජීවිත කාලෙන් වැඩි කොටසක් දුම්රිය දෙපාර්තමේන්තුවේ රාජකාරී වෙනුවෙන් කැප කළ හිටපු සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතා, ආයතනයේ දියුණුව වෙනුවෙන් තම උපරිම ශක්ති ප්‍රමාණය මෙම දෙපාර්තමේන්තුවට පුද කළා. අනුරාධපුර ප්‍රදේශයේදී රාජකාරි කටයුත්තක නිරත වී සිටියදීම හදිසියේ වියෝ වීමේ තෙමස් පූර්ණ ගුණානුස්මරණ වෙනුවෙන් මෙම බුදු පිළිම වහන්සේ නිරාවරණය කිරීම සිදුවනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ දායකත්වයෙන් ලංකා ජර්මානු දුම්රිය කාර්මික පුහුණු මධ්‍යස්ථානය පවතින තාක්කල් මෙම ස්ථානයේ වැඩ සිටින මෙම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනාමාන කිරීමෙන් ලැබෙන සියලුම පින් බණ්ඩාර මහතාට අනුමෝදන් වනු ඇති බව අප විශ්වාස කරනවා යැයි කීවේය.

මෙහිදී අනුශාසනාවක් සිදුකළ රත්මලාන පරම ධම්මචේතිය මහ පිරිවෙනේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය කරම්බන්කුලමේ සිරිධම්ම නායක ස්වාමීන් වහන්සේ,

රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්,අප සේවය කරන ආයතනය වෙනුවෙන් අප ලබන වැටුපට එහා ගිය සේවාවක් ඉෂ්ට කළ යුතුයි. අපට නොමියෙන මිනිසුන් බවට පත්විය හැකි වන්නේ ඒ අයුරිනුයි. අප මියගියත් අප ඉටුකළ සේවාව ජනතාවගේ හදවත් තුළ මිය යන්නේ නැහැ. එලෙස සේවාවන් සිදු කළ අතීත ශ්‍රී ලාංකිකයන්ට ජනතාව අදටත් ගෞරව කරනවා, ගුණානුස්මරණය කරනවා. රට ජාතිය වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් තම රාජකාරි සීමාවෙන් ඔබ්බට යමින් හදවතින් සේවය කළ මිනිසුන්ගේ නම් ඉතිහාස පොත්වලට එක්වී තිබෙනවා.

වත්මන් ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අපේ රටේ ජනතා නියෝජිතයන් අතර දීප ව්‍යාප්තව විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ගෙවී ගිය කාලසීමාව තුළ මෙම ආයතන නගා සිටුවීම සඳහා සුවිශාල සේවාවක් එතුමා ඉටු කළා. වසර ගණනාවක් අලුත්වැඩියාවක් සිදු නොවී පැවති මාර්ගවල සංවර්ධන කටයුතු නැවතත් කඩිනමින් ආරම්භ වී තිබෙනවා. දිවයින පුරාම ඒ සේවාව ඉටු කරනවා. රටේ ඈත දුෂ්කර ප්‍රදේශවල මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මාර්ග පද්ධතිය නවීකරණය විය යුතුයි. මෙම ප්‍රදේශවලත් එවැනි දුෂ්කර මාර්ග පවතිනවා. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන ලෙස අප ඉල්ලීමක් කරනවා යැයි කීහ.

ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් පැවැති මෙම වැඩසටහන සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගානත් රූබසිංහ මහතා, දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩබලන සාමාන්‍යාධිකාරී එස්. එස්. මුදලිගේ මහතා, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වන වී. එස්.පොල්වත්තගේ මහතා, එන්. ජේ. ඉඳිපොළ මහතා ඇතුළු විධායක නිලධාරීන්, අභාවප්‍රාප්ත හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT